Thursday, September 12, 2019

ලංකාදිප පුවත් පතට මවිසින් ලියන ලද ලිපි කිපයකි



රටට පණදුන් එස්.එෆ්.


    
 1970 දශකයේදි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් දෙමළ විමුක්ති කොටි සංවිධානය නිර්මාණය වූවේය. ඔවුනගේ පළමුවැනි දේශපාලන මිනිස් බිල්ල වූයේ සැබෑ දෙමළ නායකයෙක් වූ ඇල්ෆ්‍රඞ් දොරෙයිඅප්පාය. පතුරොම් තුවක්කුවෙන් ආරම්භ කළ අරගලය මරාගෙන මැරෙන බෝම්බය දක්වා වර්ධනය විය. 1983 වසරේ රුධිර ගංගාවක් ගලා යමින් කළු ජූලිය සිදුවූවේය. සිංහල දෙමළ මුස්ලිම් සංහිඳියාව කෑලි කෑලි වී යාම ඉන් සිදුවිය.

1984 වසර වන විට විදෙස් ආධාර ලබාගත් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී කල්ලිය ශක්තිමත්වී සිටියේය. වරින් වර සැඟවී සිට රාජ්‍ය හමුදාවන්ට ප්‍රහාර එල්ලකළ ඔවුහු 1985 වසරේදී එළිපිටම හමුදා කඳවුරු වලට පහරදීමට පටන් ගත්හ. ආර්.පී.ජී. වැනි අවි යොදාගෙන නැගෙනහිර මායිමේ පිහිටි කෝකිලායි කඳවුරට ද පහර දුන්හ. විවිධ ගරිල්ලා උපක්‍රම භාවිතයට ගත් ඔවුන් උතුරු නැගෙනහිර සිටි හමුදාවන්ට තර්ජනයක් වූවේය.

මෙම ක්‍රමවේදය මර්දනය කිරීමට ගරිල්ලා සටන් ක්‍රම දත් විශේෂ හමුදාවක අවශ්‍යතාව මතුව ආවේය. එය යථාර්ථයක් බවට පත් කරන ලද්දේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චිය. ඔහුගේ සංකල්පයට ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆීර් ඇතුළු තිස් අට දෙනකුගෙන් යුත් කණ්ඩායම පණ දුන්හ.

අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරායන තේමා පාඨයට අනුව පෙළ ගැසුණු මෙම විශේෂ බළකාය වසර තිහක් පුරා පැවති යුද්ධය අවසාන වනතුරුම සුවිශේෂී සේවාවක් සැපයූහ. ඒ නිසාම යුද ජයග්‍රහණයේ සැබෑ කොටස්කරුවන් වන ඔවුන් පිළිබඳව කතා කිරීමට විශේෂ බළකායේ සිටි කර්නල් වරයකු වූ රාජ් විජේසිරි මහතා සමග කතා බහක යෙදුනෙමු.


ඔබ විශේෂ බළකායට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම ඉගෙන ගත්තේ ඉසිපතන විද්‍යාලයේ. ඒ කාලයේ කෙඩෙටින් කළා. 1980 උසස්පෙළ ඉවර කළා. යුද හමුදාවට බැඳුණා. කැඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාවට අංක 14 යටතේ පුහුණු වුණා. අවුරුදු 2 1/2ක් පුහුණුවීම් ලැබුවා. 1982 මම බැච් ටොප් ලෙස තේරුණා. මුලින්ම සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ සේවයට බැඳුණේ. එහි කණ්ඩායම් නායකයෙක් ලෙස අවුරුදු 4ක් සේවය කළා. ඒ කාලයේ යාපනය, කිලිනොච්චි, වව්නියා, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල මෙහෙයුම් සිදු කළා. ඒ වගේම සෙබළුන් සමග කැලෑවල මෙහෙයුම් වලට සම්බන්ධ වුණා. කුඩා කණ්ඩායම් සමග එවැනි දේ කිරීමට මට ආසාවක් තිබුණා. ජෙනරාල් කොබ්බෑකඩුව මට උදව් කළා. 1986 දී ක්ෂණික විහිදුම් බළකායට අනුයුක්ත වුණා. එතකොට ප්‍රධානියාව සිටියේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චි. ඒ ඉන්න ගමන් මම ඇමෙරිකාවට විශේෂ බළකා පුහුණුවකට ගියා. ඊට අමතරව මම ජෝන් කොතලාවල විද්‍යාපීඨයේ කළමනාකරණ පශ්චාත් උපාධියක් කළා. ඒ වගේම ඇමෙරිකාවේදීත් යුද උපක්‍රම පිළිබඳ පශ්චාත් උපාධියක් කළා. ඉන් පසු 1991 දී විශේෂ බළකා පුහුණු පාසල ආරම්භ කිරීමට දායක වුණා. එහි ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කළා. ඒ වගේම දිග දුර විහිදුම් බළකාය පිහිටුවීමට දායක වීම පිළිබඳ ආඩම්බර වෙනවා. හේතුව එම බළකාය එල්.ටී.ටී.ඊ. එකට ලොකු තර්ජනයක් වූ ඒකකයක්. එල්.ටී.ටී.ඊ. ගුවන් හමුදාව හදාපු ශංකර් වගේ ප්‍රබල නායකයන් විනාශ කිරීමට එම බළකායට හැකි වුණා.
ඒ විදියට තමයි මම විශේෂ බළකායත් සමග සම්බන්ධ වුණේ.


මොකක්ද විශේෂ බළකාය (ීත්‍) කියන්නේ?
යුද හමුදා විශේෂ බළකාය එස්.එෆ්. නමින් හඳුන්වනවා. යුද හමුදා විශේෂ බළකායක අවශ්‍යතාව එන්නේ සාමාන්‍ය පාබල රෙජිමේන්තුවකට යා නොහැකි ප්‍රදේශ සහ ගැනීමට අපහසු ඉලක්ක හඳුනා ගැනීමට.


කොහොමද විශේෂ බළකාය ආරම්භ වුණේ?
1985
වසරෙදි ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි මහත්මයාගෙ අදහසකට අනුවයි මෙය නිර්මාණය වුණේ. 85ට ඉස්සරවෙලා මෙය ආර්.ඩී.එෆ්. කියලා පොඩි කොට්ඨාසයක් හදාගෙන හිටියා. එහි සාමාජිකයන් 35ක් පමණ සිටියා. එහි මුල්ම සාමාජිකයෝ තමයි මේජර් ගාමිණී හෙට්ටිආරච්චි, ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆීර්, කැප්ටන් අජිත් පෙරේරා ඇතුළු පිරිස. එය තමයි පසුව විශේෂ බළකාය :ීත්‍* බවට පත් වුණේ.
මම මේ කණ්ඩායමට එකතු වුණේ 1986 වසරේදී.


විශේෂ බළකායේ මූලික කාර්ය භාරයන් මොනවාද?
මෙහි මූලික කාර්ය භාරය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක - ප්‍රහාර දෙන එක, දෙවැන්න - තොරතුරු රැස් කිරීම
ප්‍රහාර දෙනවා ලෙස සඳහන් කරන්නේ සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම, සතුරු කණ්ඩායම් සිටින පළාත් බලා ඒවාට පහර දීම, විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම.

විමර්ශනය පැත්තෙන් බැලුවොත් විශේෂ බළකායේ සෙබළු සතුරු කඳවුරු පිළිබඳව සොයා බැලීම සිදු කරනවා. ඒ වගේම කාලතුවක්කු වගේ විශාල අවි ආයුධ සඟවලා තිබෙන තැන් ගැන සොයා බලනවා. සතුරන්ගේ චර්යාවන් සොයා බලා ඉහළ මූලස්ථාන වලට දැනුම් දීම සිදු කරනවා. සතුරන්ගේ සන්නිවේදන මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකායේ තවත් කොටසක්.


මුල් කාලයේ විශේෂ බළකාය ගොඩනැගුණේ කොහොමද?
මේජර් ගාමිණී හෙට්ටිආරච්චිගේ සංකල්පයට අනුව සාමාජිකයන් 38 දෙනකුගෙන් පළමු කණ්ඩායම නිර්මාණය වුණා. මුලින්ම විශේෂ කණ්ඩායම් පුහුණුවීම් ලැබුවේ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කඳවුරේ. පසුව විදේශීය උපදේශකයන්ගෙනුත් පුහුණුවීම් ලැබුවා. එසේ පුහුණු වූ පිරිස වව්නියාවේ ජෝශප් කඳවුරේ ස්ථානගත වුණා. ඉන් පස්සේ වැලිඔය සහ වව්නියා ක්‍රියාන්විත වලට අවශ්‍ය දායකත්වය ලබලා දුන්නා.

ඒ කාලයේ ලුතිනන් කර්නල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුත් පළමුවැනි ගජබා රෙජිමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් මේ පිරිසට සහාය ලබලා දුන්නා. සතුරන්ගේ තොරතුරු ලබාගනිමින් මර්මස්ථාන වලට පහර දීම සාර්ථකව සිදු කළ විශේෂ බළකාය තව තවත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා. ඒ අනුව සෙබළුන් 38කින් ආරම්භ කළ විශේෂ බළකාය 68ක් දක්වා බි්‍රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ මගපෙන්වීම යටතේ වැඩි කළා.

මෙහෙයුම්වල පහසුව තකා ඇල්ෆා”, “බ්‍රාවෝ”, “චාලිකියලා කණ්ඩායම් තුනකට මේ පිරිස වෙන් කළා. මේ කණ්ඩායම්වල අණදෙන්නන් ලෙස ක්‍රියා කළේ ලුතිනන් අජිත් පෙරේරා, ලුතිනන් ෆස්ලි ලෆීර්, ලුතිනන් රොහාන් විජේසිංහ යන පිරිස. දෙවැනි බඳවාගැනීමෙන් පසු ඒ ආකාරයට වර්ධනය කළ විශේෂ බළකායට තුන්වැනි අවස්ථාවේදී ඩෙල්ටාබල ගණයද එකතු කළා. එය භාරවූයේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චිට.

ඒ ආකාරයට ටික ටික ගොඩ නැගුණු විශේෂ බළකායට මම සම්බන්ධ වෙන්නේ 1986 වසරේදී. ත්‍රස්ත මර්දනය සඳහා පිහිටවූ මෙම කණ්ඩායම් වලට වගකීම් පැවරුවේ තවත් කුඩා කණ්ඩායම් ලෙස කොටස් කරලා. ඒ කුඩා කණ්ඩායමක් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විතයි. ඒ කණ්ඩායමේ 8 දෙනාට එක එක වගකීම් පවරලා තිබුණේ. උදාහරණයකට කිව්වොත්, කණ්ඩායමෙන් දෙදෙනෙක් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පුහුණුව ලබපු අය. ඒ අය තමයි බිම් බෝම්බ ඇටවීම වැනි කටයුතු බාරව ක්‍රියා කරන්නේ. ඒ වගේම සතුරා වළදැමූ ආයුධ පිළිබඳ සොයා බැලීමත් ඔවුනට අයිති රාජකාරියක්.

ඊළඟට තවත් දෙන්නෙක් පුහුණු කරලා තිබුණා වෛද්‍ය සේවාවට. කණ්ඩායමේ කාටහරි තුවල වුණොත් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබලා දෙන්නේ ඒ දෙන්න.

තවත් දෙන්නෙක් පුහුණු කළා සංඥා පිළිබඳ සොයා බැලීමට. එයාලගෙන් එක් කෙනෙක් තමයි රේඩියෝ සෙට් එක ගෙනියන්නේ. ඔය ආකාරයට එක එක්කෙනාගේ දක්ෂතාව අනුවයි අට දෙනාට රාජකාරි පැවරුවේ. මේ එක කණ්ඩායමට නායකයෙක් සහ උපනායකයෙක් හිටියා.
මේ අට දෙනාගේ කණ්ඩායමත් නැවත කොටස් දෙකකට කැඩුණා. අපි මූලික කණ්ඩායමක් ලෙස 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නිර්මාණය කිරීමටත් හේතුවක් තිබුණා. ඒ තමයි කුඩා කණ්ඩායමක් සතුරාට සොයා ගැනීමට අපහසු වීම.

උතුරේ ත්‍රස්ත මර්දනය සේම දකුණේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් මර්දනය කිරීමට සහයදීමත් විශේෂ බළකායේ රාජකාරිය වුණා. 


මේ කාලය වන විට විශේෂ බළකායට ආ අභියෝග මොනවාද?
ඒ කාලය වන විට පණිවිඩ හුවමාරු ක්‍රම නොදියුණු තත්ත්වයේ තිබුණේ. ඡඍක්‍ - 77 ගුවන් විදුලි යන්ත්‍ර තමයි ඒ සඳහා භාවිත කළේ. එහි රහස්‍යභාවය අවිනිශ්චිතයි. ඒ වගේම කිලෝ මීටර් 15ක උපරිම සීමාවක් සංඥා ලබාදීම සඳහා තිබුණේ. ඒ සීමාවෙන් එහාට ගියාම මූලස්ථානයත් සමග සංඥා නැති වෙනවා. එය අපට ලොකු බාධාවක්. ඒ වගේම අවි ආයුධ සම්බන්ධ ගැටලු තිබුණා. විශේෂයෙන්ම සතුරා විනාශ කරන්න සයිලන්ට් වෙපන් (හඬ නොනැගෙන අවි) තිබුණේ නෑ.

ඒ වගේම ඒ කාලේ ජී.පී.එස්. තාක්ෂණය තිබුණේ නෑ. අපි සිතියම් පරිහරණය කරමිනුයි කටයුතු කළේ. ඒ සිතියම් 1950 ගණන් වල 60 ගණන් වල හදපු ඒවා. ඒවායේ තිබුණ දත්ත මේ වන විට වෙනස් වෙලා. කැලෑ එළිවෙලා. ගම්මාන, කුඹුරු හැදිලා, ඒ නිසා අපි ළඟ තිබුණු සිතියම පවා සීයට සීයක් නිවැරදි වුණේ නෑ. ඒ වගේම වැසි ජලය කාන්දුවන, දිගු ක්‍රියාන්විත වලට ඔරොත්තු නොදෙන උරහිස් රිදුම් දෙනකන් දරා සිටින්නට වූ :ත්‍ඵක්‍* පැක් තමයි අපි භාවිතා කළේ.

මීළඟට තිබුණු ලොකුම අභියෝගය ආහාර. සාමාන්‍ය යුද හමුදා සෙබළු අරගෙන යන බත් ටින් කෑමයි තිබුණේ. අපි දවස් 10ක්, 12ක් කැලේ ඇතුළේ මෙහෙයුමේ නිරත වෙද්දී කැලරි වැඩි ආහාරයි අවශ්‍ය වෙන්නේ. ඒත් අපේ සෙබළු ඒ හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දුන්නා.


● 1989
ඇති වූ අර්බුදකාරී තත්ත්වයන්ට විශේෂ බළකාය දායක වුණේ කොහොමද?
ඒ කාලයේ වව්නියාව, මාන්කුලම, යාපනය වැනි ප්‍රදේශ වල මෙහෙයුම් සිදුකළා. ඇතැම් අවස්ථාවල ප්ලොට් සංවිධානයේ සහයෝගය අපිට ලැබිලා තිබෙනවා. 1988 වසර වන විට යුද හමුදාව තුළ විශේෂ ඒකකයක් ලෙස මෙම බළකාය ප්‍රතිපත්ති මගින් පිළිගත්තා. ඒ වගේම 1989 දී විශේෂ බලකායේ ධාවන පැදි බලගණය පිහිටවූවා.

එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලිය මර්දනය කිරීම ඔවුන්ගේ විශේෂ ක්‍රියාන්විතයක් වුණා. ඒ වගේ 89 කාලයේ හිස එසවූ කැරලිකරුවෝ නගරයේ තැනින් තැන කලබල ඇති කරන්නට පටන් ගත්තා. මෙම කණ්ඩායම් මර්දනය කිරීමට ධාවන පැදි බළකාය විශේෂ සේවාවක් සිදු කළා.




විශේෂ බළකාය සංග්‍රාම භූමියේ විශේෂම කණ්ඩායමක් බවට පත් වුණේ කොහොමද?
විශේෂ බළකායේ සතුටුදායක ජයග්‍රහණයන් නිසා යුද හමුදාවේ විශේෂ පිළිගැනීමක් ලැබුණා. එය තවතවත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඇති වුණා. ජෙනරාල් වනසිංහ යුද හමුදාපති වුණාට පස්සේ හමුදාවේ ඉන්න දක්ෂ සෙබළුන් විශේෂ බළකායට බඳවාගන්න අවස්ථාව උදා කරලා දුන්නා. ඒ කාලයේම විශේෂ බළකා පුහුණු පාසලක් ආරම්භ වුණා. 250ක පමණ කණ්ඩායමක් බඳවා ගෙන මින්නේරියේ පුහුණුවක් කළා. ඉන් 135ක් පමණ බඳවා ගත්තා.
89
කාලය වන විට විශේෂ බළකාය 150ට අධික සෙබළු සංඛ්‍යාවකගෙන් යුක්ත වුණා. මේ විදියට බඳවාගැනීම් කරලා 500ක් පමණ සෙබළ කණ්ඩායමක් හැදුවා.

එය පළමුවැනි විශේෂ බළකාය කියලා රෙජිමේන්තුවක් බවට පත් කළා. එහි මූලස්ථානය පිහිටවූයේ නාවුල. 1990 වෙනකොට විශේෂ බළකායේ ස්නයිපර් කණ්ඩායම බිහි කළා. ඒ වගේම සංග්‍රාමික කිමිදුන් පාඨමාලාවක් හදාරා සිටි ලුතිනන් සුසිත් කන්ගොඩආරච්චිගේ ප්‍රධානත්වයෙන් විශේෂ බළකා කිමිදුම් කණ්ඩායමක් ගොඩනැගුවා. 1995 වසරේදී දෙවැනි විශේෂ බළකායේ කිමිදුම් කණ්ඩායම පිහිටවූවා.

දියෙන් සහ ගොඩින් සතුරා සමග සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගත් විශේෂ බළකාය ගුවණින් හරඹ කිරීම සඳහා පැරෂුට් භටයින් රැසක් ද නිර්මාණය කළා.

මේ විදියට ශක්තිමත් කළ විශේෂ බළකායේ එකෝබලගණය කපිතාන් උපුල් වීරසිංහගේ නායකත්වයෙන් ගොඩනැගුවා. එය විශේෂ නිලධාරින් 28 දෙනෙක් සහ සෙසු නිලයන් 498කින් සමන්විත වුණා. එහි ප්‍රථම අණ දෙන නිලධාරි වුණේ මම. එය අපි ආරම්භ කළේ ත්‍රිකුණාමලයේදී. තුන්වැනි විශේෂ බළකාය හැදුණේ ඒ ආකාරයට. 1996 වසරේදි මගේ දෙවැනි විශේෂ බළකායෙන් කොටසක් අරගෙන දිග දුර විහිදුම් බළකාය ආරම්භ කළා. එය කිලිනොච්චියේදී සිදු කළේ.

විශේෂ බළකායේ හතරවැනි බළ ඇණිය හොටෙල්”. එය ආරම්භ කිරීමට මුල් වූයේ කපිතාන් චූල දෙල්වල. ඒ වගේම කපිතාන් චන්න වඩුගේ ප්‍රධානත්වයෙන් ෆොක්ස්ට්‍රොට්බලගණය පිහිටවූවා.

මේ විදියට විශේෂ පුහුණුකිරීම් වලින් ගොඩබිම මුහුද සහ ගුවන ජයගත හැකි විශේෂ සෙබළ පිරිසක් නිර්මාණය වුණා.


විශේෂ බළකාය සඳහා සෙබළුන් තෝරා ගන්න විශේෂ ක්‍රමවේදයක් තිබුණාද?
විශේෂ බළකායට පැමිණෙන සෙබළෙකුට අමාරු දුෂ්කර පාඨමාලාවකට මුහුණදීමට සිදුවෙනවා. අපි ඔහුගේ කායික සහ මානසික ශක්තිය මැන බලනවා. කායික ශක්තිය බලන්න ලොකු පාගමන් තිබෙනවා. ලොකු බරක් දාගෙන යන්න ඕනෑ. දුවන්න ඕනෑ. බාධක තරණ තිබෙනවා. කිලෝ මීටර් ගණන් ඇවිදින්න ඕනෑ.

ඒ වගේම අපි ඔවුන්ගේ මානසික ශක්තිය ඒ හැම අවස්ථාවකදීම මැන බලනවා. ඔවුන්ගේ බුද්ධි මට්ටමත් ඒ ඒ ක්‍රියාකාරකම් වලින් මැන බලනවා. මේ හැම දේම කරන්නේ දින 28ක තියෙන මූලික පාඨමාලාවෙන්. මේ සති හතරේ පාඨමාලාවට 100ක් ආවොත් 60ක්ම හැලෙනවා. ඉන් තේරෙන පිරිස තමයි මාස 5ක් විතර පවත්වන උසස් ශිල්ප පාඨමාලාවට තෝරාගන්නේ. ඒ අයට තමයි විශේෂ බළකා සෙබළෙකුට තිබිය යුතු පුහුණුවීම් ලබලා දෙන්නේ.


ඔබ සිටි කාලයේ සිදු කළ මෙහෙයුම් වලට දුන් දායකත්වය කෙබඳුද?
වඩමාරච්චි මෙහෙයුමේදී අපිට පැවරුණේ ප්‍රභාකරන් පැනලා යන පැත්ත කවර් කරන්න. අපි හෙලිකොප්ටර් 9කින් එතනට ගියා. එතන දවස් 6ක් හිටියා. පැය හයකට (6) පසු එල්.ටී.ටී.ඊ. එක අපිට පහර දුන්නා. එහිදී අපේ සෙබළු 6ක් 7ක් පමණ මරුණා. 17ක් විතර තුවාල වුණා. එය තමයි මම හිටපු කාලේ කළ පළමු මෙහෙයුම.

මීලඟට අපි සම්බන්ධ වුණේ මුලතිව් මෙහෙයුමට. මුලතිව් කෑම්ප් එකට එල්.ටී.ටී.ඊ. එකෙන් පහර දුන්නට පස්සේ අපිට එහි සිටි සෙබළුන්ට උදව් කරන්නට සිදු වුණා. කර්නල් ලෆීර් ඔහුගේ සෙබළුන් සමග එම ස්ථානයට ගියා. එල්.ටී.ටී.ඊ. එකෙන් එයාගෙ කණ්ඩායම වට කරගත්තා. එතනදි තමයි කර්නල් ලෆීර් මැරුණේ. එයාගේ ගොඩක් අය තුවාල වුණා. ඒ පිරිසට උදව් කරන්න මම මගේ දෙවැනි විශේෂ බළකායත් එක්ක ත්‍රිකුණාමලයෙන් මුලතිව් දක්වා පිටත් වුණා. එහිදී අපිටත් එල්.ටී.ටී.ඊ. එක වටකරගෙන ගැහුවා.

එදා සවස 5ට විතර මටත් වෙඩි වැදුණා. අපේ 5ක් විතර මැරුණා. රෑ නමයට විතර මාව හෙළිකොප්ටරේකින් අරගෙන කොළඹට ගෙනාවා. ඒත් අපේ සෙබළු පහුවෙනි දවස වෙන කොට තවත් බල සේනා ගෙන්වාගෙන ලොකු සංග්‍රාමයක් කරලා අපේ සිර වී සිටි සෙබළුන් බේරා ගෙන තිබුණා.

ඒ වගේම ඊට පෙර තිබූ යාපනය අල්ලා ගැනීමේ ක්‍රියාන්විතයේදී මම දෙවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස කටයුතු කළේ. කර්නල් ලෆීර් පළමුවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස හිටියා. එල්.ටී.ටී.ඊ. එක රාත්‍රියට පැමිණ අපේ සෙබළුන්ට පහර දුන්නා. ගොඩක් අය මැරුණා. තුවාල වුණා. ඒත් අපි ඔපරේෂන් එක සාර්ථකව කළා. 1995 දී අපි යාපනය කොටුව අල්ලා ගත්තා.

තවත් විශේෂ එකක් තමයි යාපනය අල්ලාගන්න කළ විශේෂ මෙහෙයුම. එතනදී මම බල සේනාධිපති ලෙස කටයුතු කළා. අපි ඒ කළ ක්‍රියාන්විතයේදී මාස 5ක් තුළ සෙබළු 100ක් විතර මැරුණා. 400ක් විතර තුවාල වුණා. නිලධාරින් 10ක් විතර මැරුණා. අපිට ලොකු හානියක් වුණා. සති ගාණක් ඒ යුද්ධය ගියා. පාබල හමුදාවන්ට ලොකු සහයෝගයක් අපේ සෙබළු ලබලා දුන්නා. වර්ෂ 2000 වගේ කාලේ එනකොට අපේ රෙජිමේන්තු 5ක් නිර්මාණය වෙලා තිබුණා. සෙබළු 2000ක් පමණ හිටියා. යුද්ධය අවසාන වෙන තුරුම මෙම සෙබළු බුද්ධි තොරතුරු සොයමින් එල්.ටී.ටී.ඊ. නායකයන්ට පහර දෙමින් විශාල කාර්ය භාරයක් ඉටු කළා. 

තීරණාත්මක අවස්ථාවලදී ජෙනරල් ෆොන්සේකාත් විශේෂ බළකායේ සහාය ලබා ගත්තා. එහිදී ප්‍රධාන කාර්ය පාබල හමුදාවලින් සිදු කරන විට ඊට අවශ්‍ය සහය තමයි විශේෂ බළකා සෙබළු ලබලා දුන්නේ.

මේ ආකාරයට සාමාජිකයන් 38 දෙනකුගෙන් ආරම්භ වූ විශේෂ බළකාය ක්‍රම ක්‍රමයෙන් ප්‍රබල කණ්ඩායමක් බවට පත් වූයේය. සතුරා පිළිබඳව තොරතුරු සොයා බලමින් යුද හමුදාවන්ට සුවිශාල සහයෝගයක් ලබාදුන් ඔවුන්ට වන්නි මානුෂික මෙහෙයුමත් සමග කළ යුතු වූ කාර්යභාරය පුළුල් වූවේය. එනම් වැලිඔය දී පළමුවැනි හා දෙවැනි විශේෂ බලකා දෙක එකතු වී යුද ජයග්‍රහණය තකා සුවිශාල කාර්ය භාරයක් සිදු කළ අතර හතරවැනි බලගණය ලෙස සියරාස්ථාපිත වූවේය. 2009 වර්ෂය යුද්ධයේ දරුණුතම අවස්ථාවක් විය.

තවතවත් සෙබළු විශේෂ බළකායට බඳවාගත් අතර විස්කිනම් තවත් බළඇණියක් කපිතාන් මංජුල හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූවේය.
ඒ අනුව හතරවැනි විශේෂ බළකාය කණ්ඩායම් හතරකින් සමන්විත වූ අතර 59 වැනි සේනාංකය සමග එකතු වී අවසන් සටනට සුවිශාල දායකත්වයක් ලබා දුන්නේය. ලාංකීය හමුදාවන් සතුරා සමග සටන් කර යටත් කරගන්නා භූමි ආරක්ෂා කිරීමත්, සතුරාගේ පැමිණීම පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකා සෙබළුන්ට බාර වූ රාජකාරිය විය. එහිදී බ්‍රාවෝබලගණයේ මේජර් අමිත, “ලීමාබලගණයේ කපිතාන් නන්දන සෙනවිරත්න, “නොවැම්බර්බලගණයේ කපිතාන් ලලන්ත රණසිංහ, “වික්ටර්බලගණයේ කපිතාන් සුරංග යන ප්‍රධානීහු සිය කණ්ඩායම් සමග ත්‍රිකුණාමලය, මඩකලපුව, පුදුකුඩුඉරිප්පු යන ස්ථානවල ක්‍රියාන්විත සිදු කළහ.

ඒ ආකාරයට සාමයේ අරුනළු වැටෙනා තුරා ලක් මවගේ රැකවරණය තකා විශේෂ බළකා සෙබළු ජීවිත පූජා කරමින් සිය මෙහෙවර ඉටු කළහ.
Description: m

අලිමංකඩින් පසුබසින හමුදාවට විශේෂ බළකා ආරක්ෂාව


       

ආහාර නොගෙන සිටියත් මිනිසාට පිපාසාවෙන් සිටිය නොහැකිය. විශේෂයෙන්ම දැඩි හිරු රශ්මියත්, හෙළනා දහඩියත් මිනිසා දැඩි පිපාසාවට ලක්කරයි. 2000 වසරේ අලිමංකඩ හමුදා කඳවුරේ සිටි සෙබළුන්ටත් පිපාසාවෙන් පීඩා විඳින්නට සිදුවිය. යුද්ධයට ශ්‍රමය යොදවන ඔවුන් පිපාසාවෙන් පසුවීම විජලනයට හේතු පාදක වූවේය.
එනම් ඒ වනවිටත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගේ නොනවතින රැල්ල තුන නම් යුද මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර යාපනය ප්‍රදේශයේ වැඩි භූමියක් ඔවුන් සතුවිය.

අලිමංකඩ හමුදා කඳවුර අත්පත් කර ගැනීම ත්‍රස්තයන්ගේ ඊළඟ ඉලක්කය වූ අතර ඔවුහු ප්‍රථමව හමුදාවට පානීය ජලය ලබාගත් ළිං ප්‍රදේශ ආක්‍රමණය කිරීම සිදුකළහ.

එවැනි වාතාවරණයකදී හමුදාව දැඩි අපහසුතාවයට පත්වූ අතර පිපාසාවත් කුසගින්නත් නිසා විජලනයෙන් පීඩා විඳීමට ඔවුන්ට සිදුවිය. කායිකව දුර්වල වූ බොහෝ සෙබළු පිරිසක් සතුරාගේ ඉලක්කය වූ අතර තවත් පිරිසක් රෝගාතුර විය. ඇතැමෙක් ඉවසිය නොහැකි පිපාසාව සන්සිඳවා ගැනීම සඳහා තමාගේම මූත්‍රා පානය කිරීමට ක්‍රියා කළහ.

එවන් වූ දුෂ්කරතා හා කැපකිරීම් මත මුදවාගත් මව්බිමේ නිදහස ප්‍රශංසනීයය. මෙවර ලිපියෙන් අලිමංකඩ මෙහෙයුමේදී විශේෂ බළකා සෙබළු කළ වික්‍රමාන්විත දිගහරිමු. 

මේ විශ්‍රාමික කර්නල් රාජ් විජේසිරි මහතා මුදාහළ මෙහෙයුමේ තතුය.

“2000
වසරේ පෙබරවාරි මාසයේ සිට මැයි දක්වා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් නොනවතින රැල්ල තුන නම් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. එය මෙහෙයවූ ප්‍රභාකරන්ගේ අදහස වූයේ මුළු යාපනය අර්ධද්වීපයම ත්‍රස්තයන් අතට පත්කර ගැනීම හා හමුදාව යටත් කර ගැනීමය. ඒ සඳහා 2000 වසරේ ජනවාරි සිටම ක්‍රියාත්මක වූ ඔවුහු කිලිනොච්චිය, මාන්කුලම්, පරන්තන් යන ස්ථානවල පිහිටි යුද හමුදා කඳවුරු අත්පත් කරගත්හ. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ යාපනය සහ යාපනයට දකුණින් වූ ප්‍රදේශ සම්බන්ධ කරන මධ්‍යස්ථානය වූ අලිමංකඩ අල්ලා ගැනීමය. රේල්පාරත්, මහපාරත් සහිත එම ප්‍රදේශය යුද හමුදාවටත්, එල්.ටී.ටී.ඊ.යටත් ඉතා වැදගත් ප්‍රදේශයක් විය.


මේ වනවිට එලිෆන්ට් පාස් හමුදා කඳවුරේ දහදාහකට ආසන්න හමුදා භට පිරිසක් වූහ. 

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගේ උකුසු ඇස අලිමංකඩ දෙසට යොමුකළ අතර යාපනය නගරය අත්පත් කරගැනීම උදෙසා වූ මෙහෙයුම ක්‍රියාත්මක කළේය. ඒ වනවිටත් යාපනය ප්‍රදේශයේ ගුවන්, නාවික ඇතුළු සියලු හමුදා භටපිරිස් 35,000ක් පමණ වූවේය.

බි්‍රගේඩියර් නිමල් ජයසූරියට 2000 වසරේදී යාපනයේ සිටි විශේෂ බළකා බලඇණිය භාරවූවේය. ඔහු විසින් කර්නල් රාජ් විජේසිරිට » වැනි, »» වැනි හා »»» වැනි විශේෂ බළකා බලඇණිවල සිටි දාහක පමණ සෙබළ ප්‍රමාණය භාරදෙන ලදී.

ඒ වනවිට නගර කෝවිල් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. බලය ව්‍යාප්ත වෙමින් තිබුණේය. ඉන් රාජ්‍ය හමුදාවන් සිටි ආරක්ෂිත ප්‍රදේශවලට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ට ඇතුළු වීමට හැකියාව ලැබී තිබිණි.
එවැනි වාතාවරණයකදී අලිමංකඩ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරගැනීමේ රාජකාරිය කර්නල් රාජ් ඇතුළු පිරිස භාර ගත්හ. ඔවුන් ඒ සඳහා කටයුතු කරද්දී නගර කෝවිල් දෙසින් ආරක්ෂක බළ ප්‍රදේශයට ඇතුළුවී සිටි ත්‍රස්තයෝ අලිමංකඩ කඳවුරට පහරදීම ආරම්භ කළහ. ත්‍රස්තයන්ගේ ප්‍රධානම යුද උපක්‍රමය වූයේ එලිෆන්ට් පාස් යුද හමුදා කඳවුරට බීමට ජලය ලබාගත් අයියකච්චි ප්‍රදේශයේ ළිං තිබූ ප්‍රදේශ අත්පත්කර ගැනීමයි. ඉන් හමුදා කඳවුරට ජලය ලැබීම ඇන හිටියේය. කඳවුරේ සිටි සෙබළු ඉන් බොහෝ අසීරුතාවට පත්වූහ. එවැනි වාතාවරණයකදී හමුදාවේ දුර්වල ස්ථාන බැලූ ත්‍රස්තයන් යළිත් කඳවුරට පහරදීම ආරම්භ කළහ. 

විජලනයෙන් කායිකව දුර්වල වී සිටි සෙබළු බොහෝ දෙනෙක් සතුරාගේ වෙඩි උණ්ඩයට ඉලක්ක වී ජීවිත පූජා කළහ.

එළිෆන්ට් පාස් හමුදා කඳවුරේ ආරක්ෂක බලය එන්න එන්නම දුර්වල වූවේය. යුද උපකරණ බොහෝමයක් තිබියදීම එහි සිටි හමුදා පිරිස් ත්‍රස්තයන් හා ගැටෙමින් කඳවුරෙන් පිටවීමට කටයුතු කළහ. එහිදී ද කායිකව දුර්වල වී සිටි සෙබළු බොහොමයක් සතුරාගේ ඉලක්කය බවට පත්විය. 

අලිමංකඩ කඳවුරේ තත්ත්වය එසේ වෙද්දී කර්නල් රාජ් විජේසිරි පළවැනි, දෙවැනි හා තෙවැනි විශේෂ බළකා සෙබළුන් සමග එල්.ටී.ටී.ඊ.යට එරෙහි සටනට මුල පිරූහ.
කිලාලි කළපුව අසල තිබූ කැලෑ රොද අසලින් මෙහෙයුම ආරම්භ කළ අතර එහිදී ද ත්‍රස්තයන් විසින් ඔවුන් ගමන්කළ ජීප් රථයට වෙඩි තබන්නට විය.
කර්නල් රාජ් ඇතුළු පිරිස ජීප් රථයෙන් එළියට පැන අසල තිබූ බංකර් ලයින් එකක සැඟවී ත්‍රස්තයන්ට පහරදෙන්නට වූහ. අලිමංකඩ කඳවුරේ සිට ආරක්ෂක සෙබළුන් එන පාර අත්පත් කරගැනීම ත්‍රස්තයන්ගේ මීළඟ ඉලක්කය වී තිබුණේය. ත්‍රස්තයන් හා විශේෂ බළකා සෙබළුන් අතර ගැටුම ඇතිවූයේ එවැනි වාතාවරණයකදීය. දෙපිරිස අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් දෙපිරිසේම අයට හානි සිදුවූ අතර විශේෂ බළකා සෙබළු ත්‍රස්තයන් සිටි ඉසව්වෙන් ඉදිරියට ඔවුන්ට ගමන් කිරීමට ඉඩනොදීමට කටයුතු කළහ. 

විශේෂ පාපැදි බළකායේ සෙබළු 12ක් පමණ කර්නල් රාජ් සමග වූ අතර ඔවුනට දක්නට ලැබුණේ වෙඩි පහර අතරින් ගමන් ගන්නා හමුදා වාහනයි. එම වාහන පිටුපසින්ම කාල තුවක්කුවක් ඇදගෙන යන ට්‍රක් එකක් ගමන්ගත් අතර එය ත්‍රස්තයන්ගේ ඉලක්කය වූවේය. එහි සිටි රියදුරු පළාගිය අතර ට්‍රක් එක සහ කාල තුවක්කුව ත්‍රස්තයන් අතට පත්වූවේය.

කර්නල් රාජ් ඇතුළු පිරිසට ඉදිරිපසින් සහ පිටුපසින් ත්‍රස්ත බලඇණි දෙකක් විය. ඒ වනවිට සවස 3.00 පමණ වී තිබූ අතර ත්‍රස්තයන්ට මැදිවූ විශේෂ බළකා සෙබළු 12ක් පමණ ත්‍රස්තයන් කරන ක්‍රියාකාරකම් දෙස සැඟවී බලා සිටියහ.
ජෙනරල් ජානක පෙරේරා මෙහෙයුමේ අණදෙන්නා ලෙස කටයුතු කළ අතර ජෙනරල් ෆොන්සේකා බළසේනාධිපති ලෙස කටයුතු කළේය. 
ත්‍රස්තයන්ට මැදිවී සිටි කර්නල් රාජ්, ජෙනරල් ජානක පෙරේරා සමග අදහස් හුවමාරු කරගත් අතර ජෙනරල් ජානක පෙරේරාගේ අදහස වූයේ ගුවන් හමුදා ප්‍රහාර භාවිත කර ඇටිලරි තුවක්කුව විනාශ කිරීමයි. එහෙත් කර්නල් රාජ්ගේ අදහස වූයේ හවස් වනවිට අන් විශේෂ බළකා සෙබළුන් ද භාවිතා කර කෙසේ හෝ කාලතුවක්කුව අත්පත් කර ගැනීමයි.

මේ වනවිට තුන්වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරියා ලෙස මේජර් දර්ශන රත්නායක කටයුතු කළ අතර ඔහුගේ දෙවැනි අණදෙන්නා ලෙස මේජර් සුජීව යාපා කටයුතු කළේය.
කාල තුවක්කුව අත්පත් කරගැනීමේ අදහසින් සිටි කර්නල් රාජ් මේජර් රත්නායකට කතාකර ඔහුගේ සෙබළ පිරිස සිටින ස්ථානය හා සම්බන්ධ වන ලෙසත් ඉන්පසු කාල තුවක්කුව අත්පත් කරගැනීමට කටයුතු කරමු යනුවෙන් දැන්වීය.

ඒ අනුව මේජර් රත්නායකගේ කණ්ඩායම කිලාලි කළපුව අයින දිගේ සතුරා හා සටන් කරමින් පැමිණි අතර එල්.ටී.ටී.ඊ. බංකර්වලට ආර්.පී.ජී. අවිවලින් පහරදීම ආරම්භ කළහ. ඉන් එල්.ටී.ටී.ඊ. බංකර් 5ක් පමණ විනාශ විය. ඉන් එහි රැකවල්ලා සිටි ත්‍රස්තයන් විනාශ වූ අතර මධ්‍යම රාත්‍රියේදී විශේෂ බළකා දෙපිරිස හමුවූහ.
කර්නල් රාජ්ගේ කණ්ඩායමේ සිටි 12 දෙනාගෙන් දෙදෙනෙක් මිය ගොස් සිටි අතර පස් දෙනෙක් තුවාල වී සිටියහ. මේජර් රත්නායක ඇතුළු පිරිස එකතු වී තුවාල වී සිටි සෙබළුන් ප්‍රතිකාර සඳහා පිටත් කළ අතර ඉතුරු පිරිස කාල තුවක්කුව තිබූ ට්‍රක් එක වෙත ළඟා වූහ. එහිදී ඔවුනට දක්නට ලැබුණේ ට්‍රක් රථය තුළ තිබූ කාල තුවක්කුව අතුරුදන්ව ඇති බවයි. එනම් ඒ වනවිටත් එල්.ටී.ටී.ඊ.ය ට්‍රැක්ටර් මගින් එම අවිය රැගෙන ගොස් තිබුණි.

බලාපොරොත්තු නිශ්ඵල වූ භට පිරිස යළි ගමන් ආරම්භ කළ අතර ඉර උදාවනවිට අන් විශේෂ බළකා හමුදා පිරිස් සමග එකතුවීමට හැකිවිය. 

මේ වනවිටත් අලිමංකඩ කඳවුරේ සිටි බොහෝ භට පිරිසක් කඳවුරෙන් පිටවී සිටියහ. ඒ පිරිසෙන් බොහොමයක් දෙනා සතුරාගේ උණ්ඩයට ගොදුරු වූ අතර තවත් පිරිසක් විජලනයෙන් ජීවිතක්ෂයට පත්වූහ. තවත් පිරිසක් අතුරුදහන් වූහ. ඒ ආකාරයට ජීවිතයෙන් සමුදුන් පිරිස හැරුණු කොට අන් සෙබළු කඳවුරේ තිබූ වටිණා අවි බොහොමයක් දමා ජීවිතාපේක්ෂාවෙන් පැමිණ විශේෂ බළකා සෙබළුන් හා එක්වූහ.
මේ ආකාරයට හිස්වූ අලිමංකඩ හමුදා කඳවුර අත්පත්කර ගැනීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් ලැබූ සුවිශාල ජයක් විය.

ත්‍රස්තයන්ගේ ඊළඟ අරමුණ වූයේ යාපනය නගරය අත්පත් කර ගනිමින් පලාලි දක්වා ගමන් කිරීමය. නොනවතින රැල්ල තුන මෙහෙයුමේ පරමාර්ථය ද එය විය. මෙහිදී ජෙනරල් ෆොන්සේකා විසින් ත්‍රස්ත ගමන් මාර්ගයට එරෙහිව තවත් යුද උපක්‍රමයක් යෝජනා කළේය. ඒ අනුව නාගර් කෝවිල් සිට කිලාලි කළපුව දක්වා ආරක්ෂක වළලු 6ක් පමණ දැමූ අතර කිලෝමීටර් 15ක් 20ක් පමණ ප්‍රමාණයක් ඉන් ආවරණය විය. 

මෙහිදී විශේෂ බළකා සෙබළුන්ට භාරවූයේ යම් අවස්ථාවක ආරක්ෂක බලඇණි පිහිටවූ පෙරමුණ කැඩුණොත් එහිදී ත්‍රස්තයන් මර්දනය කර යළි එම පෙරමුණ සක්‍රීය කිරීමය.

එවැනි වගකීමක් භාරවූ විශේෂ බළකා සෙබළුන්ගේ » වැනි විශේෂ බළකා කණ්ඩායමට පළමු ආරක්ෂිත වළලු එකතු කිරීමේ රාජකාරිය භාරවූයේය. එහිදී අණදෙන්නා ලෙස ක්‍රියා කළේ මේජර් වඩුගේය. ඔහුගේ දෙවැනියා වූයේ මේජර් රත්නායකය. එහි ඕ.සී.ලා ලෙස ක්‍රියා කළේ මේජර් ජානක රත්නායක, කැප්ටන් ධම්මික හේවගේ, කැප්ටන් මානාග යහම්පත්, කැප්ටන් තුෂාර සහ කැප්ටන් උපුල් යන පිරිස්ය.

මේ පිරිස ආරක්ෂක බලඇණියේ සබඳතා බිඳ වැටුණු ස්ථානයට ගිය අතර එහි ගැමුණු රෙජිමේන්තුවේ 10 සහ 6 වැනි බලඇණි වූවේය. උපුල් අබේරත්න, තුෂාර මහලේකම්, ධම්මික හේවගේ යන හමුදා නිලධාරීන් එම බලඇණි සමීපයට ගොස් සටන් කළ අතර ඉන් ත්‍රස්තයන් අතට පත්වී තිබූ බංකර් කීපයක්ම අත්පත්කර ගැනීමට හැකිවිය.

එහෙත් ඒ වනවිට හමුදා බලඇණි කීපයක් පෙරමුණෙන් ඉවත්වී සිටි අතර බංකර් අතර දුර ප්‍රමාණය කිලෝ මීටර් තුනක් හතරක් පමණ විය. විශේෂ බළකා සෙබළු 60ක් පමණ එම ස්ථානයට ගිය ද එය ස්ථිරවම අල්ලා තබා ගැනීමට නොහැකිවන තරමටම එල්.ටී.ටී.ඊ. ප්‍රහාර බලවත් විය. මෙම මෙහෙයුම අවසන් වනවිට නිලධාරීන් තුනක් සහ සෙබළුන් 20ක් පමණ නිරෝගීව සිටි අතර අන් පිරිස සතුරාගේ වෙඩි උණ්ඩයේ ඉලක්කයන් වී තිබිණ. ඉන් 10ක් පමණ මියගිය අතර 35ක් පමණ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවූහ. 

මේ ආකාරයට ස්ථාපිත කරතිබූ පෙරමුණු 5ක පමණ ප්‍රමාණය ත්‍රස්ත ප්‍රහාර නිසා දුර්වල වන සෑම අවස්ථාවකම යළිත් සක්‍රීය කිරීමට විශේෂ බළකා සෙබළු ක්‍රියා කළහ. එහෙත් එල්.ටී.ටී.ඊ. කාල තුවක්කු ප්‍රහාර හේතුවෙන් එම පෙරමුණුවල තිබූ ආරක්ෂක බංකර්වලට බලවත් හානි සිදුවිය. රාත්‍රියේ එල්ලවූ මෙම ප්‍රහාර ඉතා දරුණු වූ අතර හමුදා සෙබළුන්ට අල්ලා ගත් භූමි ප්‍රමාණවල ආරක්ෂාව තහවුරු කිරීම අසීරු කර්තව්‍යක් විය.

මෙවැනි වාතාවරණයකදී ඇති අස්ථාවර බව නිසාම හමුදාව සතු බොහෝ වටිනා යුද උපකරණ පලාලිවලට යැවීමට කටයුතු කළහ. ඔවුන්ගේ අවසන් තීරණය වූයේ හමුදාව අත්පත් කරගෙන බංකර් පිහිටුවා තිබූ ස්ථාන බේරාගත නොහැකි වුවහොත් සියලු දෙනා පලාලිවලට ගොස් පලාලි කඳවුර බේරාගැනීමය.

ඔවුන් සිතූ පරිදිම සියලු බංකර් ත්‍රස්තයන් අතට පත්විය. එය දැනගත් ජෙනරල් ෆොන්සේකා විසින් කර්නල් රාජ් විජේසිරිටත්, එයාර් මොබයිල් බි්‍රගේඩියර් කමාන්ඩර් සරත් ෆ්‍රනෑන්ඩෝටත්, කර්නල් නලින් ෆ්‍රනෑන්ඩෝටත් කතාකර මුහමාලේ ප්‍රදේශය අල්ලා ගන්නා බවත් එය ආරක්ෂා කිරීම විශේෂ බළකා බලඇණි භාරගන්නා ලෙසත් දන්වා සිටියේය.

එම පණිවිඩය ලත් වහාම රාත්‍රිය ප්‍රයෝජනයට ගත් භට පිරිස් බැකෝ යන්ත්‍ර භාවිතාකර කිලාලි සිට නගර් කෝවිල් දක්වා වූ ප්‍රදේශයේ බංකර් සැදීමට අවශ්‍ය ආරක්ෂාව සපයා ගැනීම සඳහා වූ අවශ්‍ය වාතාවරණය සකස් කර දුන්නාහ. 

රාත්‍රී අඳුර ප්‍රයෝජනයට ගෙන ආරක්ෂක භට පිරිස් ක්‍රියා කරද්දී ඊට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන බව ගුවන් පණිවුඩ මාර්ගයෙන් විශේෂ බළකා නිලධාරීන්ට දැනගැනීමට ලැබිණි.

එම පණිවිඩය ලත් වහාම විශේෂ බළකා සෙබළු ක්‍රියාත්මක වූ අතර බිම් මට්ටමෙන් ප්‍රහාරයක් දියත් කළහ. එම ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ.යට තදබල හානි සිදූවූ අතර ඔවුන්ගේ මෙහෙයුම අසාර්ථක විය. එදා ආරක්ෂක භට පිරිස් සිදුකළ වික්‍රමාන්විතය හේතු කොටගෙන මුහමාලේ ආරක්ෂක වළල්ල පිහිටුවීමට හැකිවූ අතර එය නන්දිකඩාල් දක්වා ගිය සටනට ආශිර්වාදයක්ම විය. එනම් එම ගමන් මාර්ගය මුහමාලේ ආරක්ෂක වළල්ල ලෙස ප්‍රසිද්ධියට පත්විය.

මෙම ආරක්ෂක වළල්ලේ බලය තහවුරු කිරීම සඳහා දෙවැනි විශේෂ බළකායේ මේජර් උපුල් වීරසිංහ, ඔහුගේ දෙවැනියා වූ මේජර් ජයන්ත රත්නායක, ඕ.සීලා ලෙස කටයුතු කළ කැප්ටන් නිශාන්ත, කැප්ටන් නිශ්ශංක, කැප්ටන් එරන්දක යන පිරිස් කැපවී කටයුතු කළහ. 

දිගුදුර විහිදුම් බළකායේ හමුදා සෙබළු යොදවා දිනපතාම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ට පහරදීමට කටයුතු කළ අතර ඉන් එල්.ටී.ටී.ඊ.යට ආරක්ෂක හමුදාවන් වෙත දිගින් දිගටම පහරදීමට නොහැකි විය. මේ මෙහෙයුම ජනවාරි මස ආරම්භ කරනවිට විශේෂ බළකා සෙබළු 1000ක ප්‍රමාණයක් සිටි අතර එය මැයි මාසයේ අවසන් වනවිට 200ක පමණ ප්‍රමාණයක් දක්වා අඩු වූවේය. 

ඉන් විශේෂ බළකා නිලධාරීන් 10ක් පමණ ජීවිතක්ෂයට පත්ව සිටි අතර සෙබළුන් 100ක් පමණ මිය ගියහ. 400ට ආසන්න භට පිරිසක් තුවාල ලබා සිටියහ. මෙම මාස හයක කාලය තුළ විශේෂ බළකා සෙබළුන්ට පමණක් සිදුවූ හානිය එසේ වූ අතර අලිමංකඩ කඳවුරේ සිටි සහ මෙහෙයුමට සම්බන්ධ වූ අන් බළකායන්ගේ සෙබළුන්ට සිදුවූ හානිය අතිමහත්ය. ඔවුහු දහස් ගණනක් ජීවිත පූජා කළ අතර තවත් දහස් ගණනක් සතුරු වෙඩි ප්‍රහාර නිසා ආබාධිතයන් බවට පත්වූහ.

ගුවන් හමුදාවත්, නාවික හමුදාවත් දුන් සහයෝගය හා විශේෂ බළකා සෙබළු ඇතුළු සාමාන්‍ය සෙබළු කළ කැපකිරීම් නිසා මුළු යාපනය ප්‍රදේශයම සතුරාට ආක්‍රමණය කළ නොහැකි විය.

දිවා - රාත්‍රී නොතකා නිරාහාරව, පිපාසාවෙන් සතුරා සමග යුද්ධ කළ සෙබළුන්ගේ ජීවිතවල අති දුෂ්කර කාල සීමාවක් වූ එය මාස හයක් පමණ දිගු කාලයක් විය. එම දිගු කාලයේ කළ කැපකිරීම් නිසාම එල්.ටී.ටී.ඊ.ය සිදුකළ නොනවතින රැල්ල මෙහෙයුම තුනට කණකොකා හැඬුවේය. 

විශේෂ බළකා, කමාන්ඩෝ, එයාර් මොබයිල් යන බල සේනා අන් හමුදාවන් ද සමග කළ වික්‍රමාන්විතය එසේ අවසන් වූ අතර ඉන් යාපනයේ බලය සම්පූර්ණයෙන්ම සතුරා අතට පත් නොවී බේරා ගැනීමට හැකිවිය. මේ ආකාරයට වසර ගණනාවක් ජීවිතය පරදුවට තබා කළ වීර වික්‍රමාන්විත හේතුවෙන් සතුරාගෙන් මුදවාගත් ලක්බිම ආරක්ෂා කරගැනීම ඔබගේ වගකීමකි.

යාපනය කොටුවෙන් සෙබළුන් මුදාගත් සුයිසයිඩ් එක්ස්ප්‍රස් මෙහෙයුම


  

දශක තුනකට ආසන්නව පැවැති කුරිරු යුද්ධය අවසන්වී ඇත. උතුරුකරයේත් දකුණුකරයේත් ජනතාව අද නිදහසේ ජීවත්වෙති. ඒ නිදහස ලබාදීමේ ගෞරවය හිමිවෙන්නේ ජීවිත පරිත්‍යාග කරමින්, සතුරු කුමන්ත්‍රණ පරාජයට පත් කරමින් එඩිතරව ඉදිරියට ගිය දේශයේ සිංහ පැටවුන්ටය. ඔවුන් කළ ආත්ම පරිත්‍යාගයන්ටය.
අද යුද්ධය පිළිබඳව බොහෝ කතා ඇසේ. එහෙත් එදා මුළු ලක්වාසීන්ම මරණ බියෙන් තැතිගෙන සිටි බව අප අමතක නොකළ යුතුය. ඒ නිසාම අපි දේශයේ මුරදේවතාවුන් සතුරාගෙන් සිය මව්බිම බේරාගත් වික්‍රමාන්විතයන් පිළිබඳ සටහනක් තබන්නෙමු. ඔවුන්ගේ ලේ, කඳුළු, දහඩිය තුළින් ජාති, ආගම්, භේදයකින් තොරව කළ කැපකිරීම් පිළිබඳව සටහන් තබන්නෙමු. වෙඩි හඬ, බෝම්බ හඬ පරයා නිවහල් දේශයක් ගොඩනැගීමට කැපවූ නියමුවන්ගේ ආත්ම පරිත්‍යාගයන් පිළිබඳ සටහන් තබන්නෙමු.
එම වීර වික්‍රමාන්විතයෙන් පිළිබඳව කතා කිරීමට සතුරාගේ උණ්ඩයට පපුව දුන් දේශයේ පුත්‍රයෙකු වූ කර්නල් රාජ් වීජේසිරි මහතා සම්බන්ධ කරගත්තෙමු. එය 1990න් ඇරඹි දශකය වූවේය. ඒ වනවිට යාපනය නගරය පුරා ත්‍රස්තවාදීහු සන්නාහ සන්නද්ධවී සිටියහ. යාපනයේ කොටුව තුළ පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, බැංකු නිලධාරීන් සිරවී සිටි අතර මුදල් සහ රත්‍රන් භාණ්ඩ ද විය. ත්‍රස්තවාදී ප්‍රහාර හේතුකොට ගෙන ඔවුනට එළියට ඒමට නොහැකි විය.
මේ පිරිස බේරා ගැනීමට දිවා කාලය නුසුදුසු විය. හේතුව ත්‍රස්තයන්ගේ ඉලක්කයන් වීමය. මිනිස් ජීවිතවල වටිනාකම මිල කළ නොහැකිය. ඒ නිසා කෙසේ හෝ ඔවුන්ව බේරාගත යුතුය. ඒ සඳහා වූ මෙහෙයුම් සිදුකළ යුත්තේ ද රාත්‍රියේය.
මේ අසීරු කර්තව්‍ය සිදුකිරීම විශේෂ බළකා සෙබළුන්ට බාරවිය. කළපුවත්, රාත්‍රියත් භාවිතයට ගත් විශේෂ බළකා සෙබළු ඒ අසීරු කර්තව්‍ය ත්‍රස්ත ඇසට වැලි ගසා සිදු කළහ. මිනිස් ජීවිත හා රාජ්‍ය දේපල ත්‍රස්ත ග්‍රහණයෙන් නිදහස් වූවේය.ඒ රණකාමී වික්‍රමාන්විතයේ වගතුග කර්නල් රාජ් විජේසිරි විස්තර කළේ මෙසේය.
මොන කාලයේ ද කොහේ ද මේ මෙයෙහුම සිදු කළේ?
1990
වසරේ යාපනය කොටුව ප්‍රදේශයේ.
මොකක්ද මේ මෙහෙයුමේ නම?
සුයිසයිඞ් එක්ස්ප්‍රස්.
ඇයි ඒ නම මෙහෙයුමට දැම්මේ?
මේක බැරූරුම් මෙහෙයුමක්. රාත්‍රී කාලයේ සිදුකළ යුතු වුණේ. මිනිස් ජීවිත හා දේපල බේරාගැනීම සූක්ෂමව සිදුකළ යුතු වුණා. ඇත්තටම තමන්ගේ ජීවිත නැතිකර ගන්නවා වගේ අවදානමක සිටයි මෙහෙයුම සිදුකළ යුතු වුණේ.
කවුද මෙහෙයුමට සම්බන්ධ වුණේ?
මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ප්‍රධානත්වයත් බි්‍රගේඩියර් විජය විමලරත්නගේ සහයෝගයෙනුත් මේ මෙහෙයුම ආරම්භ වුණේ. එය සැලසුම් කළේ මේජර් හෙට්ටිආරච්චි සහ 2 වැනි අණදෙන නිලධාරී ලෙස ක්‍රියා කළ මේජර් ජයවි ප්‍රනාන්දු.
මේ මෙහෙයුමේ මූලික කටයුතු කර්නල් ලෆිර්ගේ බ්‍රාවෝ බලගණයට බාරවුණා. ඊට ලෙෆ්ටිනන් සුජිත් කද්ගොඩආරච්චි සහ ලෙෆ්ටිනන් ධම්මික හේවගේ සහාය ලබා දුන්නා.
විශේෂ බළකා සෙබළුගේ සහය ලබාගත්තේ යාපනය කොටුව ප්‍රදේශය අල්ලා ගැනීමට ගිය තවත් සෙබළ පිරිසක් සහ නිලධාරීන් පිරිසක් බේරාගැනීමට. මොකක්ද ඒ මෙහෙයුම?
යාපනේ කොටුවේ මෙහෙයුමක් සිදුකරලා යාපනය රෝහල් ප්‍රදේශය අල්ලාගැනීමයි ඔවුන්ගේ අදහස වෙලා තිබුණේ. එවකට ආරක්ෂක ඇමැති හිටියේ රන්ජන් විජේරත්න මහත්තයා. ඔහුගේ උපදෙස් මතයි ජනරාල් කොබ්බෑකඩුව ඒ මෙහෙයුම දියත් කළේ.

කවුද ඒ මෙහෙයුමට එකතුකර ගත්තේ?
ෂ වැනි සිංහ රෙජිමේන්තුව ගත්තා. එහි අණ දුන්නේ ජනරාල් ෆොන්සේකා. ඔහු එවකට කර්නල්වරයෙක්. ඊට අමතරව ෂ වැනි ගජබා රෙජිමේන්තුව භාවිතා කළා. එහි අණ දෙන්න හිටියේ කර්නල් ගෝඨාභය රාජපක්ෂ. මේ දෙන්නගේ අණ දීම යටතේ ෂ සිංහ රෙජිමේන්තුව සහ ෂ ගජබා රෙජිමේන්තුව මෙහෙයුමට සම්බන්ධ කරගත්තා.
ඒ මෙහෙයුම ආරම්භ වුණේ කොහොමද?
මුලින්ම යාපනය කොටුව අසල ඇති ටෙලිකොම් කුළුණ පැත්ත අල්ලාගැනීමට ෂ සිංහ රෙජිමේන්තුව මෙහෙයුම දියත් කළා. ෂ ගජබා රෙජිමේන්තුව මෙහෙයුම දියත් කළේ ඊට විරුද්ධ පැත්ත අල්ලා ගැනීමට. (මාකට් එක පැත්ත). ඒ වෙද්දි එල්.ටී.ටී.ඊ. එක පොළව යට බංකර් හදාගෙන වටේ බිල්ඩින් අල්ලාගෙන සන්නද්ධ වෙලා ඉඳලා තිබෙන්නේ. ඒ නිසා අපේ හමුදා සෙබළුන්ට මීටර් 7580ට එහායින් යන්නට හම්බ වුණේ නෑ. සියයකට ආසන්න සෙබළුන් ප්‍රමාණයක් ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරු වුණා. එහිදී සෙබළු 20ක් 30ක් විතර මරණයට පත්වුණා. ඒ විදියට මියගිය සෙබළුන්ගේ සමහර මළ සිරුරු ලබාගැනීමට පවා නොහැකි වුණා. හේතුව ඒ මළ සිරුරු ගැනීමට ගිය සෙබළුන්ටත් ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වීමට සිදුවීම.
මේ වනවිට හෙලිකොප්ටර්වලටත් කොටුවට ඒමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබුණේ. ඒවාටත් එල්.ටී.ටී.ඊ. එකෙන් වෙඩිතියන්න පටන්ගත්තා. මේ අවස්ථාවේදී තමයි බි්‍රගේඩියර් කොබ්බෑකඩුව විසින් ෂ වැනි විශේෂ බළකායේ අණ දෙන නිලධාරියාව සිටි මේජර් හෙටිට්ආරච්චිට උපදෙස් දුන්නේ විශේෂ බළකා සෙබළුන් කොටුවේ සිරවී සිටින පිරිස මුදවා ගැනීමට යොමු කරන්න කියලා. මේ වෙනකොට අපේ විශේෂ බළකා සෙබළුන් නැගෙනහිර ප්‍රදේශයේ මෙහෙයුමක් සාර්ථකව නිමකරමින් සිටියේ. ඒත් සමගමයි අපිට යාපනය කොටුව මෙහෙයුමට සම්බන්ධ වෙන්න සිද්ධ වුණේ.
විශේෂ බළකා සෙබළු කොහොම ද ඒ මෙහෙයුම සැලසුම් කළේ?
මුලින්ම අපිව පලාලිවලට එක්කරගෙන ආවා. ඊට පස්සේ කයිට්ස්වලට ගියා. ඊළඟට මණ්ඩතිව්වලට ගිහින් එතනින් චිරුතිව්වලට රැගෙන ගියා. එතනින් තමයි අපි මෙහෙයුම ආරම්භ කළේ. එහිදී අපට පැවරුණේ කොහොම හරි යාපනය කොටුවට ගිහිල්ලා එහි හිරවෙලා හිටපු පිරිස සහ තුවාලකරුවන් මණ්ඩතිව්වලට ගෙන්වා ගැනීම.

කවුද මීට සම්බන්ධ වුණේ?
අපේ බළගණ 4ක් තිබුණා. ඇල්ෆා, බ්‍රාවෝ, චාලි, ඩෙල්ටා කියලා. ඒකෙන් ඇල්ෆා බළගණයේ අණදෙන්නා ලෙස මේජර් ප්‍රශන්න සිල්වා කටයුතු කළා. ඔහුගේ යටතේ තවත් නිලධාරීන් කීප දෙනෙක් හිටියා. බ්‍රාවෝ බළගණයේ අණදෙන්නා විදියට කටයුතු කළේ මේජර් ෆස්ලි ලෆීර්. චාලි බළගණයට අණදුන්නේ මේජර් මහේෂ් ජයසිංහ. ඩෙල්ටා බළගණයට අණ දුන්නේ මම.
කොහොමද මෙහෙයුම දියත් කළේ?
මුලින්ම චාලි බළගණය කොටුව දෙසට ගමන් ගත්තා. අපි රාත්‍රියයි කොටුවට ඇතුළුවීමට භාවිතා කළේ. ඒ වගේම කළපුව දිගේ තමයි අපිට යාමට සිදුවුණේ. මේ විදියට චාලි බළගණය මුලින්ම කොටුව දෙසට ඇතුළු වුණා. එහිදී එල්.ටී.ටී.ඊ එක ප්‍රහාර දියත් කළා. අපේ සෙබළුන් කීප දෙනෙක් තුවාල ලැබුවා. ඒත් සෙබළු පසුබැස්සේ නෑ. කොහොම හරි කොටුවට ඇතුළු වුණා.
ඔවුන්ට පවුර පල්ලෙහා ප්‍රදේශයක් අල්ලා ගැනීමට හැකි වුණා. ඊට පස්සේ ඇල්ෆා, බ්‍රාවෝ සහ ඩෙල්ටා කියන අපේ බළගණ තුනත් කොටුවට ඇතුළු වුණා. අපි කොටුවට ඇතුළු වීමෙන් අපේ පළවෙනි අරමුණ ඉටු වුණා. ඒ අරමුණ ඉටුකර ගත්තේ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දීලා. ඒත් අපේ අටදෙනෙක් විතර තුවාල ලැබුවා.
එදා රෑම අපි සැලසුම් කළා තුවාලකරුවන් සහ සිරවී සිටි පොලිස් නිලධාරීන් ආපසු යවන්න. ඔවුන්ව කළපුව දිගේ රැගෙන ගියා. ඒ වගේම බෝට්ටුවල එනිජින් ක්‍රියාකරවන්නේ නැතිව ඒවත් අපේ සෙබළු තල්ලුකරගෙන ගියේ. හේතුව බෝට්ටුවේ එන්ජිමේ හඬ ඇසුනොත් එල්.ටී.ටී.ඊ ප්‍රහාර සිදුවීම. මේ මෙහෙයුම සිදුකරද්දී පුංචි ශබ්දයක් පිළිබඳව පවා අපට හිතන්නට සිද්ධ වුණා. මේ විදියට අසාධ්‍ය තත්ත්වයේ සිටි පිරිස පිටත් කරලා දෙවැනි දවසේ සිටයි මෙහෙයුමේ ඉතිරිය ක්‍රියාත්මක කරවන්න සිදු වුණේ.
එහිදී යාපනය කොටුව ඇතුළට ආහාර ද්‍රව්‍ය ගෙන ඒම සහ අපේ තුවාලකරුවන් ආපසු යැවීම පිළිබඳවත් කටයුතු කිරීම සිදුකළ යුතු වුණා. හේතුව හැමදාම එල්.ටී.ටී.ඊ. එක බබා මෝටාර්එවීම. මහ ශබ්දයක් එක්ක මේ බබා මෝටාර්පුපුරණවා. ටෙලිකොම් ටවර් එක පැත්තේ ඉඳන් ඔවුන් ඒවා අපි ඉන්න දිහාවට එවන්නේ. එය වැටෙන ප්‍රදේශයට සෑහෙන විනාශයක් වෙනවා. කාමරයක් වගේ ඇතුළට වැටුණොත් කාමරයම පුපුරලා යනවා. මේ නිසා කොටුවේ සිරවෙලා සිටිය පිරිස කොහෙම හරි රාත්‍රී කාලයේ කොටුවෙන් ආරක්ෂිතව පිටත් කිරීම සිදු කළ යුතු වුණා.
මේ රාජකාරිය පැවැරුණේ බ්‍රාවෝ බළ ඇණියට (මේජර් ලෆීර්ගෙ කණ්ඩායම) සහ චාලි බළ ඇණියට.
ඒ අය රෑ වෙද්දී කළපුවට බහිනවා. ඊට පස්සේ එල්.ටී.ටී.ඊ. එකට කවර් වෙන විදියට ඇළක් දිගේ ගමන් ගන්නවා. එසේ ගමන් ගන්නා පිරිසෙත් විශේෂ බළකා සෙබළු 280ක් විතර සිටියා. කර වටක් වතුරේ බැහැලා ලණුවලින් එකිනෙකා සම්බන්ධ වෙලා තමයි මෙහෙයුම සිදුකළේ. ඒ අය බිම ප්‍රදේශ එහෙම කවර් කරද්දී අපි කොටුවේ උඩ බැම්මේ ඉඳලා (ඩෙල්ටා, ඇල්ෆා) ඒ අයට ආරක්ෂාව සපයනවා.
එහිදී ඨඡඵඨල ඛඵඨ වගේ බර අවි භාවිතයට ගැනීම සිදුකළා. උඩ ඉඳලා අපි ඒවායෙන් එල්.ටී.ටී.ඊ එකට වෙඩි තියනකොට ඔවුන්ට කළපුවේ ඉන්න පිරිසට වෙඩි තියන්න නොහැකි වෙනවා. ඒ උපක්‍රමය භාවිත කරලයි අපි කළපුවෙන් පිටකර යවන අයට ආරක්ෂාව සැපයුවේ. මේ ආකාරයට දවස් කීපයක්ම අපි මෙහෙයුමේ නිරත වුණා. මේජර් ජනරාල් කොබ්බෑකඩුවගේ උපදෙස් පරිදි කර්නල් ෆොන්සේකා, කර්නල් ගෝඨාභය රාජපක්ෂ යන පිරිස මේ මෙහෙයුම නැවත සිදුකරන ආකාරය සාකච්ඡා කළා.
ඒත් ඒ වනවිට එය දිගටම ගෙන යා නොහැකි තත්ත්වයක් තිබුණේ. අවසානයේ රන්ජන් විජේරත්න අමාත්‍යවරයාත් මණ්ඩතිව්වලට ආවා. අපේ අණදෙන නිලධාරීනුත් ඔහුව මුණ ගැසීමට ගියා. එහිදී සාකච්ඡා කර අවසානයට ගත් තීරණය වූයේ මෙහෙයුම අවසන් කර විශේෂ බළකා කණ්ඩායම් ආපසු ගෙන්වා ගැනීම. මෙය බැරෑරුම් සහගත තත්ත්වයක්. හේතුව වුණේ මේ වෙනකොටත් කොටුව ඇතුළේ 1000කට ආසන්න සෙබළුන් සංඛ්‍යාවක් සිරවී සිටීම.
මීට අමතරව පොලිසියේ අය 100කට ආසන්න පිරිසක් හිටියා. ඒ වගේම බැංකු නිලධාරීන් සිටියා. ඒ වගේම ලංකා බැංකුවේ මුදල් මිලියන ගණනක් තිබුණා. ඒ වගේම රත්‍රන් බඩු තිබුණා. පුපුරණ ද්‍රව්‍යත් තිබුණා. මේ සියලු දේ අපි මණ්ඩතිව් වෙත රැගෙන යා යුතු වුණා. එය එල්.ටී.ටී.ඊ. යට නොදැනෙන්න කළ යුතු වුණා. මෙය ඇත්තටම අපිට ලොකු අභියෝගයක්.

කොහොමද ඒ අභියෝගය ජයගත්තේ?
අපි අපේ කණ්ඩායමක් අත ආහාර ගෙන්වා ගද්දී කොටුව තුළ සිටින පිරිසෙන් 100ක් 150ක් විතර ඒ සමඟ ආපසු යවනවා. රැයකට එහෙම කීප සැරයක්ම දින කීපයක්ම කාණ්ඩ කාණ්ඩ යවලා කණ්ඩායම අඩු කරා.
ඒ කණ්ඩායම අඩු වුණත් අපි එල්.ටී.ටී.ඊ. එකට අපේ කණ්ඩායම අඩු බව නොපෙන්වන්න සුපුරුදු පරිදි වෙඩි තැබීම් සිදුකළා. කිසිවිටකත් අපි යාපනය කොටුව දාලා යන බව ඇඟෙව්වේ නෑ. සිරවී සිටි මිනිසුන් වගේම තිබූ වටිනා දේවලුත් අපි මණ්ඩතිව්වලට යැව්වා.
මේ කාලසීමාව තුළ මුහුණදුන් අභියෝග මොනවා ද?
ප්‍රධානම අභියෝගය කළපුවේ වඩදිය බාදිය ගැලීම. වතුර මට්ටම හිටපු ගමන් ඉහළට එනවා. අපේ හිටිය හැමෝම උස අය නෙවෙයි. කළපුවේ තැනින් තැන පොඩි පොඩි වළවල් තිබෙනවා. ඒවාට වැටෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා හැමෝම ඉණ වටා කඹයක් ඔතාගෙන සම්බන්ධ වෙලයි කළපුවේ ගමන් ගත්තේ.
ඊළඟ අභියෝගය තමයි එල්.ටී.ටී.ඊ. ප්‍රහාර. අපේ කීපදෙනෙක්ම ඒ ප්‍රහාරවලින් තුවාල වුණා. බර අවිවලින් වෙඩි තියලයි එය යම් ප්‍රමාණයකට පාලනය කළේ.
මීළඟට නැව්, බෝට්ටු සහ ගුවන් යානා ගෙන්වා ගැනීමට නොහැකි වීම තවත් අභියෝගයක් වුණා. හේතුව මීට පෙර ආ සියාමා සෙට්ටි ගුවන් යානයත් එල්.ටී.ටී.ඊ. ය බිමට වට්ටවා තිබුණා. එය කඹ දාලා ඇදලා ගන්න පවා ඔවුන් උත්සාහ කළා. ඒත් අපි ඉන්න දවස්වල ඒකට ඉඩ දුන්නේ නැහැ. ගුවන් යානයේ තිබූ මළ සිරුරු අපි නිදහස් කර ආපසු එවීමට කටයුතු කළා.
කොටුව ඇතුළේ ඉද්දි තිබ්බ අභියෝගය තමයි බබා මෝටාර් එවීම. එහිදී අපි අගල් කපලා, වැලි කොට්ට ගහලා බංකර් හදාගෙන තමයි ආරක්ෂා වුණේ. එකපාරටම කවුරු හරි කෑ ගහනවා බබා එනවෝකියලා. එතකොට අපි දැනගන්නවා බබා මෝටාර් එකක් එනවා කියලා. එතකොට කන බොන ඒවා පැත්තකට විසිකරලා බංකරය ඇතුළට දුවනවා. එළියේ හිටිය නම් තුවාල වීම හෝ ජීවිතක්ෂයට පත්වීම සිදුවෙනවා.
තවත් අභියෝගයක් තමයි එල්.ටී.ටී.ඊ එකේ හිටපු සැඟවුණ වෙඩික්කරුවෝ. අපි කොටුවේ සමහර තැන්වලින් යද්දි ඔවුන්ගේ වෙඩි ප්‍රහාරවලට ලක්වුණ අවස්ථා තිබුණා. කීප දෙනෙක් ඉන් ජීවිතක්ෂයටත් පත්වුණා.
අපෙත් සැඟවුණු වෙඩික්කරුවෝ සිටියා. කර්නල් දයා රාජසිංහ යටතේ සැඟවුණු වෙඩික්කරුවෝ (ස්නයිපර්) කණ්ඩායමක් පුහුණුවෙලා සිටියා. ඔවුන් එල්.ටී.ටී.ඊ එකටත් වෙඩි තියලා ලොකු හානියක් සිදුකළා.

කොහොමද මෙහෙයුම අවසන් කළේ?
පෙර කී පරිදි කොටුවේ සිරවී සිටි සියලු දෙනා සහ තිබුණ වටිනා දේ මණ්ඩතිව් වෙත යැව්වා. ඊට පස්සේ උදා වූ අවසන් දවස හරිම තීරණාත්මකයි. මේ වනවිට කොටුව ඇතුළේ හිටියේ විශේෂ බළකායේ කණ්ඩායම් හතර විතරයි. අපේ ඉංජිනියර්ස්ලා බාරව හිටියේ මේජර් ආනන්ද චන්ද්‍රසිරි. එයාට වගකීම පැවරුවා ගෙනියන්න බැරි උපකරණ පුපුරවා හරින්න. එය ටයිමින් අනුව පුපුරන්නයි සූදානම් කළේ.
අපි මණ්ඩතිව්වලට ළඟා වුණාට පසුව එය ටයිමින්වලට අනුව සිදුවන ආකාරයට සෙට් කරලා චාලි බළගණයට කොටුවෙන් පිටත්වීමයි අවසාන සැලසුම වුණේ. අන්තිම දවසේ රාත්‍රියේ අපි කොටුවේ තිබූ උමං දිගේ ගමන් කළා. කිසිවෙක් නෑ. අපේ අඩි ශබ්දය විතරයි අපිට ඇහුනේ. හරියට හොල්මන් ගෙයක් ඇතුළේ දුවනවා වගේ. අමුතු භයංකාර හැඟීමකුත් ආවා ඒ වෙලාවේ. එදා රෑ උමං ඔස්සේ ගමන් කරලයි කළපුවට අවතීර්ණ වුණේ. අවසන් අවස්ථාවේ චාලි බළගණයත් රැගෙන මේජර් උපුල් වීරසිංහ වෙඩි නූල් පත්තු කරලා කොටුවෙන් පිටත්වුණා. අපිට මණ්ඩතිව්වලට කිට්ටුවෙන්න පැය තුනක් පමණ ගියා. ඊටත් පැය 1 1/2ට විතර පස්සේ තමයි (පාන්දර එකට දෙකට පමණ) කොටුව ඇතුළේ මහා පිපිරුම් හඬක් ඇසුණේ. පැය ගාණක් එය පත්තු වුණා. ඒ වෙලාවේ අපි එල්.ටී.ටී.ඊ. එකේ රේඩියෝවලට ඇහුම්කන් දුන්නා.
එයාලා කතා වුණේ ආමි එකේ බෝම්බයක් පිපිරිලා ලොකු විනාශයක් වුණා කියලා. ඒ වෙද්දිත් අපි කොටුවෙන් එළියට ඇවිත් සිටි බව ඔවුන් දැන සිටියේ නෑ. අපි දුරදක්නවලින් දැක්කා එල්.ටී.ටී.ඊ එක ඇවිත් ඒ අවට පරීක්ෂා කරන ආකාරය. මේ ආකාරයට සියලුම සෙබළුන් ඉවත් කරගෙන කඳවුර අතහැරලා එන කටයුත්තට සති තුනක් විතර ගියා. විශේෂ බළකා සෙබළුන් 500ක් පමණ මේ කටයුත්තට සහභාගී වුණා.
මෙහෙයුමට භාවිත කළ ආයුධ මොනවා ද?
අපි බර අවි හැටියට භාවිතා කළේ ජී.පී.එම්.ජී. අවි, එල්.එම්.ජී. අවි (සුළු යාන්ත්‍රික අවි). ඊට අමතරව ස්නයිපර්ස් අවි භාවිතා කළා. මිලිමීටර් 60 මෝටාර්ස් භාවිතා කළා. ඇතුළේ මිලිමීටර් 80 මෝටාර්ස් තිබුණා. රොකට් ලෝන්චර්ස් තිබුණා. ආර්.පී.ජී. අවි භාවිතා කළා. ඒ වගේම ටී56 අවි භාවිතා කළා.
මේ වෙද්දි එල්.ටී.ටී.ඊ. එක කොතරම් ශක්තිමත් ද?
අපේ ශක්තිමත් පාබල හමුදාවක් තිබුණා. ඔවුන්ට නොහැකි වුණා එල්.ටී.ටී.ඊ එකට ගහන්න. ඒ වෙද්දි සෑහෙන බංකර් හදාගෙන, ආයුධවලින් සන්නද්ධ වෙලයි ඔවුන් හිටියේ. රේල් පීලි, යකඩ පතුරු පවා ඔවුන්ගේ බංකර් හදන්න භාවිත කරලා තිබුණා. ඇත්තටම අපේ විශාල පිරිසක් ඉඳලත් යාපනය රෝහල් ප්‍රදේශය අත්පත් කර ගැනීමට නොහැකි වුණේ එල්.ටී.ටී.ඊ එක එතරම් ශක්තිමත් නිසා.
මේ කාලයේදී තමයි සාම සාකච්ඡා බිඳ වැටිලා යුද්ධයේ දෙවැනි අදියර පටන් ගත්තේ. කලවංචිකුඩි වැනි ප්‍රදේශවල තිබ්බ පොලිස් ස්ථාන ඔක්කොම ඔවුන් අල්ලා ගත්තා. එවැනි ශක්තිමත් බවක් උතුරේ සහ නැගෙනහිර සිටි ත්‍රස්වාදීන්ට තිබුණා.
ඝන අන්ධකාරය, සීතල මුහුදු වතුර, මැසි මදුරු උවදුරු, සතා සර්පයාගේ අනතුරු සියල්ලක් මැද ත්‍රස්ත ප්‍රහාර මැඩ පවත්වමින් ජීවිතය පරදුවට තබා විශේෂ බළකා සෙබළු සිදු කළ එක් වික්‍රමාන්විතයක් එසේ අවසන් වුවේය.
ලංකාදීප පුවත්පතෙනි ..

කොටින්ගෙන් මඩකළපුව බේරාගන්න විශේෂ බළකා මෙහෙයුමක්
By None // 2017 ජන 09 වන සඳුදා  Facebook  Twitter  Google+
බැලුවෝ - 2438

     

සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන් ජීවත්වන මඩකළපුව ප්‍රදේශය ත්‍රස්ත බියෙන් ඇලළී තිබිණි. නිවෙස්වලට පනින ත්‍රස්තයෝ නිරායුධ සිවිල් වැසියන් අමු අමුවේ මරාදැමූහ. ඔවුනගේ දේපල කොල්ලකෑහ. යුද හමුදා සෙබළු සිය ගාණක් මරා දැමූහ. එවන් වූ වකවානුවක මඩකළපුව ත්‍රස්තබියෙන් නිදහස්කර ගතයුතු විය. ඒ සඳහා විශේෂ බළකා සෙබළුන්, කමාන්ඩෝ සෙබළුන් හා පාබල හමුදාව පෙළ ගැසුනහ. 1993, 1994 වසර පුරා දිවා, රෑ නොතකා සටන්කර එම ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගත්හ. ඒ සඳහා මෙහෙයුම් තුනක් දියත් කළ අතර ඒ පිළිබඳව තොරතුරු විශ්‍රාමික කර්නල් වරයෙකු වූ රාජ් විජේසිරි මුදාහැරියේ මෙලෙසිනි. 



1993 සහ 1994 වසරවල මඩකළපුවේ සුවිශාල මෙහෙයුම් සිදු කළේය. එහි ප්‍රධාන අරමුණ වූයේ කරුණා අම්මාන් ඇතුළු 800ක් පමණ ත්‍රස්තයන් මර්දනය කිරීමය. එනම් ඒ කාලය වෙනවිට එම ත්‍රස්ත කණ්ඩායම් හමුදාවට සේම සිංහල, මුස්ලිම් ගම්මානවලට ද විශාල තර්ජනයක් වී තිබුණි. එම වාතාවරණය පැවති ආණ්ඩුවේ ඡන්ද කටයුතුවලට බාධාවක් වූ හෙයින් ත්‍රස්තයන් මර්දනය කර සාමකාමී වටපිටාවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වූවේය. 

එම නිසා ආණ්ඩුවේ අවශ්‍යතාව මත එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. ඒ සඳහා » වැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස මේජර් ජයවි ප්‍රනෑන්ඩෝත් දෙවැනි අණදෙන්නා ලෙස කර්නල් රාජ් විජේසිරිත් කටයුතු කළ අතර ඒ සඳහා චාලි බළගණය, කැප්ටන් දර්ශන රත්නායක යටතේත්, එකෝ බළගණය කැප්ටන් උපුල් වීරසිංහ යටතේත්, ඩෙල්ටා බළගණය කැප්ටන් වඩුගේ යටතේත්, ඇල්ෆා බළගණය කැප්ටන් අනිල් ප්‍රනෑන්ඩෝ යටතේත්, බ්‍රාවෝ බළගණය සරත් ඇඹව යටතේත් සූදානම් කළහ.


කැප්ටන් හරේන්ද්‍ර රණසිංහ, කැප්ටන් දර්ශන රත්නායක, කැප්ටන් උපුල් වීරසිංහ, කැප්ටන් සුජීව යාපා, කැප්ටන් ධම්මික හේවගේ සහ මේජර් රාජ් විජේසිරි.


මීට අමතරව » වැනි කමාන්ඩෝ රෙජිමේන්තුව සහ පාබල හමුදා සේනාංක කීපයක් මෙහෙයුමට සම්බන්ධ වූහ.

මේ වනවිට කරුණා අම්මාන් ඇතුළු 800ක් දෙනා තොප්පිගල, තාරාවිකුලම්, මඩකළපුව - අනුරාධපුර ප්‍රධාන මාර්ගයට බටහිරින් හා අරලගන්විල ප්‍රදේශවල සිය ආරක්ෂිත බංකර් පිහිටුවා තිබුණි. එම ප්‍රදේශවල ආරක්ෂිත බංකර් පිහිටුවා සිටි ත්‍රස්තයෝ පාරේ ගමන් ගන්නා යුද හමුදා කණ්ඩායම්වලට පහරදීමට කටයුතු කළහ. ඒ සෑම අවස්ථාවකම හමුදා සෙබළු 30ක්, 35ක් වැනි ප්‍රමාණයක් මිය ගියහ.

ඉන් ගමනාගමනයට බාධා ඇති වූ අතර පාරේ ගමන්ගන්නා සිවිල් ජනතාව මර බියෙන් පසුවූහ. මීට අමතරව තැනින් තැන පිහිටි හමුදා කඳවුරුවලට පහර දීමත්, මායිම් ගම්මානවල සිටි නිරායුධ සිවිල් වැසියන් වෙඩි තබා හෝ කපාකොටා ඝාතනය කිරීමත් ඔවුනගේ දෛනික ක්‍රියාවන් වී තිබුණේය. එවැනි අමානුෂික ඝාතනයන් නතර කිරීම අරමුණ කරගත් විශේෂ බළකා සෙබළු හා සාමාන්‍ය සෙබළ පිරිස් මඩකළපුවට ගොඩ බැස්සහ.


එල්.ටී.ටී.ඊ.යෙන් අල්ලාගත් වාහනයක්


සතියක් පමණ කාලයක් ඇතුළත තාරාවිකුලම්, කරනවිකුලම් සහ වැව් ආශ්‍රිතව තිබුණු ත්‍රස්ත බංකර විනාශ කර හමුදා ආරක්ෂක වළලු පිහිටුවීමට රාජ්‍ය ආරක්ෂක හමුදාවන්ට හැකිවූවේය.

එම කඳවුරුවල නතර වූ විශේෂ බළකා සෙබළු සහ කමාන්ඩෝ සෙබළු කැලෑපීරමින් ත්‍රස්තයන් සොයා ගියහ. පුනානි මාර්ගයෙන් උතුරේ කමාන්ඩෝ සෙබළුත් පුනානී මාර්ගයෙන් දකුණේ විශේෂ බළකා සෙබළුත් සිය වික්‍රමයන් ආරම්භ කළහ. වසර එකහහමාරක් පමණ පැවති මෙහෙයුමෙන් ජයගත් රාජ්‍ය සෙබළුන් අත්පත්කරගත් දේ බොහෝය.

එනම් පුනානිකුලම් ප්‍රදේශයේ තිබුණ කැලෑවේ පිහිටා තිබූ කරුණා අම්මාන්ගේ පිරිස පාලනය කළ ආරෝග්‍යශාලා, බේකරි, යුද පුහුණු ස්ථාන, සංඥා මධ්‍යස්ථාන ආදී අක්කර ගණනාවක සුවිශාල ප්‍රදේශයක් සහ ත්‍රස්තයන් සතුවූ වාහන විශාල ප්‍රමාණයක් හමුදාව අතට පත්විය.

ඒ අතර ජීප්, ට්‍රැක්ටර්, කාර් ඇතුළු වාහන 16ක් පමණ විය.

වසර එකහමාරක් පමණ කාලයක් යුදවැදී ආරක්ෂක හමුදාවෝ ජයග්‍රහණය අත්පත්කර ගත්හ. එසේ ලබාගත් ජයග්‍රහණය පිටුපස මෙහෙයුම් තුනක තතු ඇත්තේය.

තරව්කුලම් අසල එල්.ටී.ටී.ඊ කඳවුර


එනම් මේජර් ජයවි ප්‍රනෑන්ඩෝට ලැබුණු තොරතුරක් මත නාරකමුල්ල කන්ද පාමුලින් එක් මෙහෙයුමක් ආරම්භ කළේය. ඒ 1993 වසරේ අප්‍රේල් මාසයේදීය.
කැප්ටන් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු එකෝ බළගණයේ නිලධාරීන්ට කන්ද පාමුල සැඟවී සිට සටන මෙහෙයවීම භාරවිය. ලෙෆ්ටිනන් නිශ්ශංක ඊරියගම, ලෙෆ්ටිනන් කැලුම් පෙරේරා, දෙවැනි ලුතිනන් ප්‍රශන්ත විජේසූරිය, ලුතිනන් කැලුම් පෙරේරා ආදී නිලධාරීන් එහි ප්‍රමුඛයෝ වූහ.

මේජර් දර්ශන රත්නායක යටතේ චාලි බළගණය මෙහෙයුමට සූදානම් වූ අතර නාරකමුල්ල කන්දේ සිට කිලෝමීටර් අටක පමණ දුරකින් ඔවුහු ස්ථානගත වූහ.

මේජර් වඩුගේ ප්‍රමුඛ ඩෙල්ටා බළගණය පෙළගැසුණේ නාරකමුල්ල කන්දේ උතුරු දෙසිනි.

මේ ආකාරයට සූදානම් වූ විශේෂ බළකා සෙබළු සැඟවී සිට පහර දීම ආරම්භ කළහ.

දිනක් එකෝ බළගණයේ මේජර් කැළුම් පෙරේරා සිය බඩියාත් සමග කැලය අභ්‍යන්තරයට ගිය අතර ඔවුනට දක්නට ලැබෙන්නේ ත්‍රස්තයන් සියයකට අධික පිරිසකි. නිහඬව ඒ දෙස බලා සිටි ඔවුන් ත්‍රස්තයන් පුනානි දෙසට ගමන්ගන්නා බව කැප්ටන් රණසිංහට දැනුම් දුන්නේය. ඔහු මේජර් ජයවි ප්‍රනෑන්ඩෝට ඒ පිළිබඳව දැනුම්දුන් අතර අවසානයේ ත්‍රස්තයන් ලුහුබැඳ පහරදීමට තීරණය විය. ඒ අනුව මේජර් රණසිංහ ඇතුළු පිරිස කිලෝමීටර් ගණනාවක් දුරගෙවා ත්‍රස්තයන් පසුපස ලුහුබැඳි අතර රාත්‍රිය උදාවූවේය. අන්ධකාරයත් සමගම වර්ෂාව පතිත වූ අතර මහ කැලෑවේ විඳි දුෂ්කරතා බොහෝය. එම නිසා සෙබළුන්ට ඉර උදාවනතුරු බලා ඉන්නට සිදුවිය. 


ලෙෆ්ටිනන් ප්‍රසන්න විජේසූරිය සහ සෙකන්ඞ් ලෙෆ්ටිනන් උපේන්ද්‍ර කරුණාරත්න


සිදුවූයේ ඛේදවාචකයකි. වැස්ස නිසා ත්‍රස්තයන්ගේ අඩිපාරවල් මැකීගොස්ය. දින ගණනාවක් කැලෑවේ ගත කළ සෙබළ පිරිස » වැනි විශේෂ බළකාය ස්ථානගතවී සිටි සිත්තණ්ඩි ප්‍රදේශය කරා ආපසු පැමිණියහ.

ගතවූයේ එක් දිනක් පමණි එල්.ටී.ටී.ඊ.ය පුනානි පාරේ ගමන්ගත් හමුදා සෙබළ කණ්ඩායමකට පහර දී ඇති බව දැනගන්නට ලැබුණි. එම පහරදීමෙන් හමුදාවේ 20ක් පමණ මියගිය බව දැනගත් විශේෂ බළකා සෙබළු එසේ පහරදීමට පැමිණ ඇත්තේ පසුගිය දිනක එකෝ බළගණයට මගඇරුණු 200ක පමණ ත්‍රස්ත පිරිස බව වටහා ගත්හ.

මේජර් ජයවි ප්‍රනෑන්ඩෝගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ කැප්ටන් රණසිංහ යළිත් ත්‍රස්තයන් ආපසු එන ගමන් මාර්ගය අනුමාන කර පහරදීමට සූදානම් විය.
නැවතත් නාරකමුල්ල ප්‍රදේශයට ගිය සෙබළ පිරිස එහි ආරක්ෂක බළඇණිය පිහිටුවේය. එය 70ක පමණ සෙබළ පිරිසකගෙන් සමන්විත විය.

කන්ද මුදුන සිට එක් සෙබළ පිරිසක් ඔත්තු බැලූ අතර අන් පිරිස ආයුධ ස්ථානගත කර සතුරා එනතුරු බලා සිටියහ.

දුර සිට ඔත්තු බැලූ සෙබළ පිරිසට පළමුව දක්නට ලැබෙනුයේ 5ක පමණ කුඩා ත්‍රස්ත කණ්ඩායමකි. එහෙත් කිසිදු පහරදීමකින් තොරව ඔවුන් එන ගමන් මාර්ගය නිරීක්ෂණය කළ සෙබළ පිරිසගේ නෙතට කුඩා කණ්ඩායම් ලෙස සැදී පසුගිය දින හමුදා සෙබළුන්ට පහරදී ලබාගත් ආයුධත් සමඟ පැමිණෙන ත්‍රස්තයන් දර්ශනය විය. 

එම කණ්ඩායම් අවසානයේ ත්‍රස්ත නායකයන් එන බව දැනගත් ආරක්ෂක හමුදාව 50ක පමණ කණ්ඩායම ඉලක්ක කර පහර දෙන්නට කටයුතු කළහ. පෙර දින වැසි ඇති වුවත් ඊට පෙර තිබූ තද පෑවිල්ල නිසා මානා පඳුරු වියළීගොස් තිබුණි. සටනත් සමඟ වියළි මානා පඳුරුවලට මහා ගින්නක් හටගත් අතර ත්‍රස්තයෝ අසල වූ වනරොදට පැන ගත්හ.

ලෙෆ්ටිනන් නිශ්ශංක ඊරියගම සහ ලෙෆ්ටිනන් ප්‍රසන්න විජේසූරිය


හමුදාව ඔවුන් ලුහුබැඳි අතර කැලෑව තුළදීද සටන් පැවතියේය. 

එම සටන් එසේ පවතිද්දී කැලෑව තුළ සැඟවී සිටි වෙනත් ත්‍රස්ත කණ්ඩායමක් කැප්ටන් රණසිංහ සිටි ප්‍රදේශයට පහර දෙන්නට විය. ඉන් කැප්ටන් රණසිංහ සහ කැප්ටන් පතිරාජ තදබල ලෙස තුවාල ලැබූහ. ඒත් ඔවුන් සටන නොනැවැත්වූ අතර ඉන් ත්‍රස්තයන් 30කගේ පමණ ජීවිත නැති විය. තුවක්කු 20ක් පමණ ආරක්ෂක හමුදාවන් සතු වූවේය. 

එම සටනින් ආරක්ෂක හමුදාවන්ටද හානි සිදුවූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යැවීමට ගුවන් යානා ගෙන්වා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව ගුවන් යානයක් පැමිණි අතර එහි ලෙෆ්ටිනන් සිරිසාන්ත සහ සාජන් අස්මිත් යන නිලධාරීන් දෙදෙනා පැමිණියහ.

මෙහිදී මේජර් ජයවි ප්‍රනෑන්ඩෝගේ අදහසට අනුව ආරක්ෂක හමුදාවන්ට එල්.ටී.ටී.ඊ. මළසිරුරු සහිත ප්‍රදේශයට ආරක්ෂක රැකවල් දැමීමට නැවත සිදුවිය. හේතුව එම මළසිරුරු ගෙනයාම සඳහා ත්‍රස්තයන් ආපසු පැමිණීමයි. එම රාජකාරිය කැප්ටන් සිරිශාන්ත ඇතුළු පිරිසට භාර විය. ලෙෆ්ටිනන් ප්‍රශන්න, ලෙෆ්ටිනන් කැළුම්, ලෙෆ්ටිනන් නිශ්සංක යන පිරිස ද ඔවුන් සමඟ වූහ.

මේ පිරිස සන්ධ්‍යාව එළඹෙනතුරුම කැලෑවේ සැඟවී බලා සිටියහ. අඳුර වැටී එනවාත් සමග එක් එක් ත්‍රස්තයා සැඟවෙමින් මළසිරුරු ඇති ප්‍රදේශයට එනවා හමුදා නෙත් ගැටුණි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ටත් හමුදාව සිටිදෝ යන සැකය තිබුණ අතර ඔවුන්ගේ කුඩා කුඩා කණ්ඩායම්ද ආයුධත් සමඟ ස්ථානගතවීම සිදුවිය.

මේ සියලු දේ කැප්ටන් සිරිශාන්ත ඇතුළු පිරිස නිහඬව බලා සිටියහ. අවසානයේ ත්‍රස්තයන් තිස් දෙනෙකු පමණ ක්‍රම ක්‍රමයෙන් එකතු වුණ පසු ආරක්ෂක හමුදාව ප්‍රහාර දියත් කළහ. ත්‍රස්තයෝද ඊට සූදානමින් සිටි අතර ප්‍රති ප්‍රහාර එල්ල කළහ. 

නැවතත් අඳුර පසාරු කරමින් ගිනිපුළිඟුසේ වෙඩි පත්තුවන්නට විය. එම සටන පැයක් පමණ පැවතියේය. ඉන් ආරක්ෂක හමුදාවන්ට ජය අත්වූ අතර ත්‍රස්තයෝ 30ක පමණ ප්‍රමාණයක් මිය ගියහ. ඔවුන්ගේ ආයුධ හමුදාව අතට පත්විය. එම සටනින්ද විශේෂ බළකා සෙබළු තිදෙනෙක් තුවාල වූහ.
නාරකමුල්ල ප්‍රදේශයේ සිදුකළ මෙම ක්‍රියාන්විතයට විශේෂ බළකා සෙබළු විශාල පිරිසක් සහභාගි වූ අතර එය සාර්ථක මෙහෙයුමක් විය. 

මෙම මෙහෙයුමෙන් පසු ජයග්‍රහණය අත්කරගත් සෙබළ පිරිස දෙවැනි මෙහෙයුම ආරම්භ කරන්නේ පූනානිවලට උතුරින් පිහිටි කඩිඩමුරුවිකුලම් ප්‍රදේශයෙනි.

එනම් ඒ වනවිට අංගොඩවිලු සිට කදිරවේලි ප්‍රදේශයට එල්.ටී.ටී.ඊ. බලපෑම ඇතිබවත් ඔවුනගේ බංකර් එම ප්‍රදේශයෙහි පිහිටා ඇති බවත් මුහුදින් එම බංකර්වලට ආයුධ සපයා ගන්නා බවත් ආරක්ෂක හමුදාවන්ට දැනගැනීමට ලැබුණි.

ඒ අනුව එම තොරතුරු පිළිබඳ සොයා බැලීමට ආරක්ෂක හමුදාවෝ කටයුතු කළහ. 

ඔවුනගේ නෙත ගැටෙන්නේ බොහෝ කාලයක් එහා මෙහා ගිය අඩි පාරක් වෙතය. එය ත්‍රස්තයන්ගේ බව අනුමාන කළ විශේෂ බළකා නිලධාරීන් පළමු පහර දීමට එකෝ බළගණයේ කැප්ටන් ප්‍රශන්න විජේසූරිය ඇතුළු පිරිස පිටත් කර හැරියේය. ඔවුහු දින 4ක් පුරා පාර රැකගෙන සිටියත් කිසිදු අයෙක් නෙත නොගැටෙන අතර ආපසු ඒමට කටයුතු කළහ. එහිදී තවත් අඩිපාරක් ඔවුනගේ නෙත ගැටුණි. ඒ අනුව කැප්ටන් උපුල් වීරසිංහගේ උපදෙස් පරිදි එකෝ පළමු කණ්ඩායම හා කැප්ටන් නිශ්ශංක ඊරියගම ඇතුළු පිරිස නව පාර නිරීක්ෂණය කිරීමට පිටත් කර යැව්වේය. 12හේ 12හේ කණ්ඩායම් 2ක් ලෙස පෙළ ගැසෙන ඔවුහු එම මෙහෙයුම දින හයකට සැලසුම් කළහ. සිව් දිනක් නිහඬව තිබූ අතර පස්වැනි දින රාත්‍රියේ යම් කණ්ඩායමක් ගමන් ගන්නා ශබ්දය ඔවුනට ඇසෙන්නේය. ඒ ත්‍රස්තයන්ගේ බව හඳුනාගත් කැප්ටන් ඊරියගම පළවැනි වතාවට ත්‍රස්තයන් උදෙසා ක්ලේමෝ බෝම්බයක් භාවිත කිරීමට කටයුතු කළේය. එහෙත් බෝම්බය සක්‍රීය නොවීය. ඒ නිසාම අන් සෙබළුද සතුරාට වෙඩි තැබීමට ක්‍රියා නොකළහ.

හමුදාවන් ඉදිරියෙන් ත්‍රස්තයෝ 30ට ආසන්න පිරිසක් කදිරවේලි දෙසට ගමන් ගත්හ. එළිය වැටුණු පසු ක්ලේමෝ බෝම්බය පරීක්ෂා කළ අතර යම් සතෙකු එය සක්‍රීය කරන වයරය කා ඇති බව දක්නට ලැබිණි. නැවතත් කැප්ටන් මානද යහම්පත් ඇතුළු එකෝ හතරවන කණ්ඩායම එල්.ටී.ටී.ඊ.ය ගමන්ගත් මාර්ගය අසලට ගොස් ඔවුන් ආපසු එනතුරු බලා සිටින්නට වූහ. දින හතරක් ගෙවීගිය ද කිසිදු ත්‍රස්තයෙක් ආපසු නොආවේය. නැවතත් එකෝ පළමුවැනි කණ්ඩායම ලෙෆ්ටිනන් ඊරියගම සමඟ පෙර සිටි ස්ථානයට යවන අතර එය 20 වැනි දිනය වූවේය.

මැසි, මදුරු, සර්ප උවදුරු සේම අලි, කොටි, වලස් තර්ජන උග්‍ර වනසේ දිවා රාත්‍රී ගත කළ හමුදාවන්ට දක්නට ලැබුණේ ත්‍රස්ත මාර්ගයේ දිගේ දිවියෙකු ගමන් ගන්නා ආකාරයයි. හමුදාව නිහඬව ඔහු දෙස බලාසිටි අතර දිවියා නිහඬව ඉදිරියට ඇදුණේය. එදින රාත්‍රියේ නැවතත් ත්‍රස්තයන්ගේ පාහඬ හමුදාවන්ගේ සවනත වැකිණි. පළමුව දෙදෙනා, තිදෙනා ලෙස ත්‍රස්තයන් ගමන්ගත් අතර ලොකුම කණ්ඩායම පිටුපසින් ගමන් ගත්හ. මල්ටි මීටර වලින් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කළ ක්ලේමෝ බෝම්බය මහා ශබ්දයක් නගමින් පත්තු වූ අතර ඉන් ත්‍රස්තයන්ට විශාල හානියක් සිදු කළේය. එනම් ත්‍රස්තයන් 19කගේ මළ සිරුරු සහ ඔවුන් රැගෙන ගිය අවි හමුදාවන් අතට පත්විය.

කැප්ටන් උපුල් වීරසිංහයන්ගේ අණ පරිදි එකෝ බළගණයේ ඉතිරි පිරිසද එම ප්‍රදේශය නිදහස් කර ගැනීමට පිටත් කෙරිණි. සියලුදෙනා එකතු වී දින 20ක් පුරා දිවා රාත්‍රී සටන්කර එම ප්‍රදේශයද ත්‍රස්තයන්ගෙන් මුදාගත්හ. එනම් ත්‍රස්තයන් මුහුදේ සිට අංගොඩවිල්ලු ත්‍රස්ත කඳවුරට බඩු ගෙනෙනා සැපයුම් මාර්ගය හමුදාව අත්පත් කර ගත්තේය. එයම ත්‍රස්තයන්ට එම ප්‍රදේශය හැර යාමට හේතු වූවේය. ඒ ආකාරයට ජයග්‍රහණය අත්පත් කරගත් ආරක්ෂක හමුදාව තෙවැනි මෙහෙයුමට ද අත තැබූහ.

තලවගල ප්‍රදේශයේ සිදුකළ තෙවැනි මෙහෙයුමට හේතුපාදක වූයේ හමුදාවේ රහස් ලබාගන්නා එල්.ටී.ටී.ඊ. සංඥා මධ්‍යස්ථාන විනාශ කිරීමය.

එනම් ඒ වනවිට හමුදාව භාවිත කළ ඩිරේක්ටර්ස් ෆයින්ඩර්ස් නම් සංඥා උපකරණයට එල්.ටී.ටී.ඊ. සංඥා මධ්‍යස්ථාන පිළිබඳව තොරතුරු ලබාගත හැකිවිය. ඒ අනුව චාලි බළගණයේ කැප්ටන් දර්ශන රත්නායක, ලෙෆ්ටිනන් සිරිමාන, ලෙෆ්ටිනන් නාලක යන පිරිස් සහ සෙබළු මෙහෙයුම සඳහා සූදානම් වූහ. ඔවුන් තලවගල ප්‍රදේශයට ගොස් ත්‍රස්ත සංඥා මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු සෙවූමුත් කිසිවක් පිළිබඳ හෝඩුවාවක් ලබාගත නොහැකි විය. හැත්තෑවක පමණ ප්‍රමාණයක් දවසක් පුරා වෙහෙස වුවද සාර්ථක ප්‍රතිඵල නොලැබුණ අතර කෝප්‍රල් මුණසිංහට තලවගල කන්දේ උඩහරියේ ගසක කැපූ අතු 2ක් හමුවන්නේය. ඔහුගේ අනුමානයට අනුව කන්ද මුදුනට ගිය අතර එහිදී සංඥා මධ්‍යස්ථානය හමුවන්නේය. ත්‍රස්තයන් තිදෙනෙක් එය මෙහෙය වූ අතර හමුදාවේ ගමන් බිමන් පිළිබඳව තොරතුරු සැපයීම ඒ මගින් සිදුවී තිබුණි.

කරුණා අම්මාන් ඇතුළු පිරිස පාරේ ගමන් ගන්නා හමුදාවන්ට පහරදී ඇත්තේ ඒ හරහා ලැබුණු තොරතුරු නිසාවෙනි. එම ස්ථානය හමුදාව අත්පත්කර ගන්නා අතර ආරක්ෂක හමුදා රහස් ත්‍රස්තයන් අතට පත්වන මාර්ගය ඉන් අවහිර විය.

මේ ආකාරයට තුන් ආකාරයක මෙහෙයුමකින් හමුදාව ජයග්‍රහණය අත්පත්කර ගත් අතර 1994 අවසාන වනවිට කරුණා අම්මාන්ගේ කණ්ඩායම් කඳවුරු අත්හැර ගොස් තිබිණි. ඔහුගේ 800ක පමණ පිරිසෙන් 2030ක කුඩා කණ්ඩායම් පමණක් දිනෙන් දින කැලයෙන් කැලයට ගමන් ගනිමින් කුඩා පහරදීම් සිදු කළහ. එහෙත් ඔවුනගේ බලය හීනවී තිබුණි. ඒ නිසාම පැවති රජයට වසර ගණනාවකට පසු 1994 වසරේ ඡන්දය පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සැලසී තිබුණි. 

1995
වසරේ යාපනය අල්ලා ගැනීම සඳහා රිවිරැස මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර මඩකළපුව අතහැර එහි යාමට විශේෂ බළකායට සිදුවිය. එය ප්‍රයෝජනයට ගත් කරුණා අම්මාන් ඇතුළු පිරිස නැවත තොප්පිගල වනයට ඇතුළු වූ අතර නැවතත් ත්‍රස්ත ක්‍රියාකාරකම් ආරම්භ කළහ.

හමුදාවන් සිදුකරන ලද්දේ මානුෂීය මෙහෙයුමකි. ඔවුහු දෙමළ වැසියන් සමඟ යුද්ධ නොකළහ. අන්තවාදී අදහස් ඉදිරිපත් කරමින් සිවිල් වැසියන් ඝාතනය කළ, රාජ්‍ය දේපලට හානිකළ. ජාති ආගම් භේදයකින් තොරව සියලු ජනතාවට හිරිහැර කළ ඊලාම්වාදී ත්‍රස්තයන් සමඟ සටන් කළහ. එනම් දින, සති, මාස, වසර පුරා දිවා, රාත්‍රී කැපවී සටන් කළ සෙබළු ජීවිත දහස් ගණනක් පුදා මව්බිම රැකගත්හ. විරුවෝ ජීවිත පුදා දිනා දුන් දේශය රැකගැනීම සියලුදෙනාගේ යුතුකමකි.
Description: m
යාපනය නගරයට විශේෂ බළකාය ඇතුළුවෙයි
By None // 2016 දෙසැ 29 වන බ්‍රහස්පතින්දා  Facebook  Twitter  Google+
බැලුවෝ - 7579

      
දශක තුනකට ආසන්න කාලයක් පැවැති යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කරමින් ශරීරය ආබාධයට ලක් කර ගනිමින් අමිල මෙහෙයක් සිදු කළ වීර සෙබළුන් අමතක කළ නොහැකිය. අද යුද්ධය අවසන් වී තිබුණත් මිය ගිය සෙබළුන්ගේ ඥාතීන් හෙළන දුක් සුසුම් ජීවමානය. රෝද පුටු වලට වී අත් පා අහිමි වීමෙන් එක් තැන් වූ සෙබළුන් හෙළනා දුක් සුසුම් ජීවමානය.

අප නිදහසේ හුස්ම ගන්නේ ඔවුන් කළ ඒ අපරිමිත කැප කිරීම් හේතුවෙනි. ඒ නිසාම මෙවර ලිපියෙන් විස්තර කරන්නේ යාපනය මුදා ගත් රිවිරැස මෙහෙයුමේදී විශේෂ බළකා සෙබළුන්ගේ දායකත්වය පිළිබඳවය.

1995 වසරේ ඔක්තෝබර් මාසය විය. මෙතෙක් කලක් වනය ආශ්‍රිතව යුද කළ සෙබළුන්ට විශේෂ අභියෝගයකට මුහුණ දිය යුතු විය. එනම් ගොඩනැගිලි සහිත ජනාශ්‍රිත ප්‍රදේශයක් වූ යාපනය නගරය සතුරාගෙන් මුදවා ගැනීමේ කර්තව්‍ය භාරවූයේය. සිවිල් වැසියන්ට හානි නොවන පරිදි සතුරා පරාජය කිරීම සිදු කළ යුතු වූ අතර සිවිල් වැසියන් ලෙස සැරසී සිටින ත්‍රස්තයන්ගේ යුද උපක්‍රමයන් ජය ගැනීමත් සිදු කළ යුතුවිය.

එවැනි වාතාවරණයකදී සිවිල් වැසියන්ට හානි නොවන පරිදි ත්‍රස්තයන් මර්දනය කර යාපනය නගරය අල්ලා ගත් ආකාරය පිළිබඳව විශ්‍රාමික කර්නල් රාජ් විජේසිරි මහතා අදහස් දැක් වූයේ මෙලෙසය.

1995
වසර වන විට මණ්ඩතිව්, කයිට්ස් වැනි දූපත් කීපයක් සහ පලාලි ප්‍රදේශය යුද හමුදාව සහ නාවික හමුදාව අත්පත් කරගෙන තිබූ අතර යාපනය කොටුව ඇතුළු මුළු අර්ධද්වීපයේම බලය ත්‍රස්තයන් සතු විය. එවැනි වාතාවරණයකදී රාජ්‍ය ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කර ගැනීමට භූමියෙන් සැපයුම් මාර්ගයක් නොමැති වූ අතර එය ලබාගැනීමේ අවශ්‍යතාව මතුව ආවේය. 

එනම් අනුරාධපුරයේ සිට වව්නියාව, මාන්කුලම් ඔස්සේ සැපයුම් මාර්ගයක් සාදා ගැනීම ඔවුනට අත්‍යවශ්‍ය දෙයක් විය.

ඊට හේතුව වූයේ යුද හමුදාවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කළ ගුවන් යානා වලට සහ නාවික යාත්‍රා වලට එල්.ටී.ටී.ඊ. තද බල ලෙස ප්‍රහාර එල්ල කිරීමය.
මීළඟට ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජෙනරාල් රත්වත්තේ සහ ජෙනරාල් දළුවත්ත වැනි ප්‍රධාන හමුදා නායකයෝ යාපනයේ ඔළුව අල්ලා ගැනීම තුළින් කඳ අල්ලා ගැනීම පහසු කාර්යයක් වනු ඇතැයි සිතූහ.

මේ ප්‍රධාන හේතු සාධක දෙක ඔස්සේ සාකච්ඡා කළ හමුදා නිලධාරිහු රිවිරැස මෙහෙයුම පිළිබඳව අදහස් ඉදිරිපත් කළහ.

එම අදහසට ජීවය දෙන විට ෂ වැනි විශේෂ බළකායේ අණ දෙන්නා ලෙස මේජර් ජයවි ප්‍රනෑන්ඩෝ කටයුතු කළ අතර  දෙවැනි අණ දෙන නිලධාරියා ලෙස මේජර් චන්න වඩුගේ කටයුතු කළේය.

ෂෂ වැනි විශේෂ බළකායේ අණ දෙන නිලධාරියා ලෙස කර්නල් රාජ් විජේසිරි කටයුතු කළ අතර දෙවැනි අණ දෙන්නා ලෙස මේජර් උපුල් වීරසිංහ ක්‍රියා කළේය.

ඒ වන විට නැගෙනහිර ප්‍රදේශයේ ඡන්දයක් පැවැත් වූ අතර විශේෂ බළකා සෙබළු එල්.ටී.ටී.ය අඩපණ කරමින් ඡන්ද කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙමින් සිටියහ.
ඔවුන් සැප්තැම්බර් මාසයේ මුල් සතියේ ගුවන් යානා මගින් යාපනයට ගෙන්වා ගත් අතර රිවිරැස මෙහෙයුම සාර්ථක කරවීමේ වගකීම භාර දුන්නේය.

කැලෑ සටන් වල නිරත වෙමින් සිටි විශේෂ බළකා සෙබළුන්ට මෙවර සටන් කිරීමට සිදුවූයේ සිවිල් වැසියන් සිටින ගොඩනැගිලි සහිත ජනාකීර්ණ ප්‍රදේශයකය. එහිදී කැලෑ සටන් වල මෙන් බර අවි වලින් වික්‍රමාන්විත කළ නොහැකි වූ අතර යුද උපක්‍රම සියල්ලම වෙනස් කිරීමට සිදුවූයේය. එම නිසා සති කීපයක්ම ජනාකීර්ණ ප්‍රදේශයක අවි ආයුධ භාවිත කරන ආකාරය පිළිබඳව පුහුණුවීම් සිදුකළහ. දිවා රාත්‍රී දෙකම පුහුණුව සඳහා භාවිතයට ගත් අතර වෙඩි ද්‍රව්‍ය භාවිත නොකර හා අවසන් මොහොතේ වෙඩි ද්‍රව්‍ය භාවිතා කර සටන ජය ගන්නා ආකාරය පිළිබඳව පුහුණුවීම් සිදු කළහ. ඒ වන විට ආරක්ෂක ඇමැති ලෙස ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ කටයුතු කළ අතර යාපනයේ සිදු කළ රිවිරැස ක්‍රියාන්විතය ජෙනරාල් රොහාන් දළුවත්තට භාර වූවේය.

මෙම ක්‍රියාත්විතයට 51, 52, 53 යන සේනාංක සම්බන්ධ කර ගත් අතර විශේෂ බළකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව 53 වැනි සේනාංකයට අයත් වූවේය.
ඊට නායකත්වය ලබා දුන්නේ ජෙනරාල් ජානක පෙරේරාය.

මේ ආකාරයට සූදානම් කළ රිවිරැස ක්‍රියාන්විතයට පෙර සූදානමක් ලෙස -තණ්ඩස්ට්‍රයික්මෙහෙයුම ක්‍රියාවට නැංවූවේය. එහි මූලික අරමුණ වූයේ උතූරු අච්චුවෙලි පාර දක්වා මෙහෙයුමක් දියත් කර එය අල්ලා ගැනීමය. ෂෂ වැනි විශේෂ බළකායට හා කර්නල් චන්ද්‍රවංශ ප්‍රමුඛ කමාන්ඩෝ රෙජිමේන්තුවට පලාලි කඳවුරේ සිට එල්.ටී.ටී.ඊ. බලය බිඳගෙන මෙහෙයුමේ පළමු පියවර සාර්ථක කිරීම භාරව තිබුණේය. එහිදී බුද්ධි අංශ තොරතුරු ලබාගත් එම පිරිසට බිම් වෙඩි සහ විවිධ බෝම්බ වර්ග වලින් ආරක්ෂා වෙමින් මෙහෙයුම සිදු කළ යුතු විය.

ඉතාමත් රහසිගතව අඳුරේ ක්‍රියාන්විතය ආරම්භ කරන ස්ථානයට පැමිණි සෙබළු පිරිස හිමිදිරියේම පහරදීම ආරම්භ කළහ. වෙඩි බලය යොදා ගනිමින් හා සන්නාහ සන්නද්ධ බළකායට අයිති යුද ටැංකි කීපයක් භාවිතයට ගනිමින් සිදු කළ මෙහෙයුම ඉදිරියටම ඇදුණේය. ෂෂ වැනි විශේෂ බළකාය ඉදිරියට ඇදෙනවාත් සමගම මේජර් චන්ද්‍රවංශ ප්‍රමුඛ හමුදා භට පිරිසද සටනට එක්වූවේය. ෂ වැනි විශේෂ බළකාය රැගත් මේජර් ජයවි ප්‍රනෑන්ඩෝ ඇතුළු පිරිස දකුණු දෙසින් මෙහෙයුමට සම්බන්ධ වූහ.

සුළු වෙඩි බලයක් යොදවා කිලෝ මීටර් 2ක් පමණ ගෙවා ගිය ෂෂ වැනි විශේෂ සෙබළු බළකාය ත්‍රස්තයන් පරාජය කොට උතුරු - අච්චුවේලි මාර්ගය අත්පත් කර ගත්හ. එම වික්‍රමාන්විතය පැය තුනක පමණ කාලයකින් අවසන් වූවේය.

එහෙත් ෂ වැනි විශේෂ බළකායට ත්‍රස්තයන් හා මහා සංග්‍රමයක් කිරීමට සිදු විය. 

ඉන් සෙබළු කීප දෙනෙක් මිය ගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූහ. එම පරිත්‍යාගයන් වල අවසන් ප්‍රතිඵලය වූයේ රිවිරැස මෙහෙයුමට පූර්ව මාර්ගෝපදේශනය වූ තණ්ඩස්ට්‍රයික් මෙහෙයුම සාර්ථකව නිම කිරීමය.

ජයග්‍රහණය අත්පත් කරගෙන ප්‍රීති ප්‍රමෝදයෙන් සිටි සෙබළුන්ට එදින රාත්‍රිය යළිත් බියකරු වූවේය. එනම් රාත්‍රී අඳුර ප්‍රයෝජනයට ගත් ත්‍රස්තයෝ විශාල පිරිසක් නැවතත් සටනට පැමිණියහ.

එයා මොබයිල් කණ්ඩායම පැත්තෙන් ආරක්ෂක වළල්ල ඇතුළට පැමිණි ත්‍රස්තයෝ මර්දනය කිරීමට මේජර් ගැමුණු පෙරේරා ඇතුළු පිරිස සමත් වූහ. එහිදී ත්‍රස්තයෝ 150ක පමණ ප්‍රමාණයක් ආරක්ෂක හමුදාවන්ගේ ඉලක්කයට හසු වූහ. එමෙන්ම ෂ වැනි විශේෂ බළකායට ද එවැනි සතුරු ප්‍රහාරයකට මුහුණදීමට සිදු වූවේය.

මේ ආකාරයෙන් ත්‍රස්තයන් මර්දනය කර ජයගත් තණ්ඩස්ට්‍රයික් මෙහෙයුම් කණ්ඩායම රිවිරැස මෙහෙයුම සඳහා සූදානම් කිරීම සිදු විය. එනම් එහි සිටි අණදෙන නිලධාරින් කණ්ඩායම් දෙකකට බෙදා සැලසුම් දෙකකට අනුව මෙහෙයුම සිදු කිරීම අවසන් තීරණය වූවේය.

එහිදී දෙවැනි විශේෂ බළකායේ මේජර් රාජ් විජේසිරි, මේජර් සුමේධ පෙරේරා, මේජර් කමල් ගුණරත්න සහ මේජර් දයා රත්නායක එක් කණ්ඩායමකට වැටුණු අතර මේජර් සරත් ප්‍රනෑන්ඩෝ, මේජර් ජගත් අල්විස් වැනි තවත් නිලධාරිහු සමූහයක් දෙවැනි කණ්ඩායමට අයිති වූහ.

මෙම කණ්ඩායම් දෙක වෙන් වෙන්ව රිවිරැස සැලැස්ම නිර්මාණය කළ අතර එය ජෙනරාල් රත්වත්තේ අතට පත් කළේය. එහිදී ෂෂ වැනි විශේෂ බළකායේ සැලැස්ම තෝරාගත් අතර ඒ අනුව රිවිරැස මෙහෙයුම සිදු කිරීමට තීරණය විය.

එම සැලැස්මට අනුව ෂ වැනි හා ෂෂ වැනි විශේෂ බළකායට 53 වැනි සේනාංකයට ඉදිරියෙන් ගොස් සටන් කිරීම භාර වූ අතර ඇතැම් අවස්ථාවල පමණක් පිටුපසින් ගොස් සටන් කිරීම සිදු විය. ඒ ආකාරයට සතුරා සමග සටන් කර අත්පත් කර ගත් සෑම ප්‍රදේශයකම ආරක්ෂක වළල්ලක් පිහිටුවීම සිදු කළේය.
එසේ ආරක්ෂක වළල්ලක් පිහිටුවා සිටි එක් රාත්‍රියක , වැනි විශේෂ බළකා කණ්ඩායම සිටි පැත්තෙන් සතුරු ප්‍රහාරයක් දියත් වූ අතර මේජර් කමල් ගුණරත්න සිටි දෙසින් තවත් සතුරු ප්‍රහාරයක් දියත් වූයේය. මුළු රාත්‍රියම හමුදා සෙබළු සහ ත්‍රස්තයින් අතර සටන් සිදු වූ අතර එම ප්‍රදේශයම වෙඩි හඬින් ගිගුම් දුන්නේය. ඉර උදාවත් සමග සටන නැවතුන අතර ෂ වැනි විශේෂ බළකා කණ්ඩායම දෙසින් එල්.ටී.ටී.ඊ. මළ සිරුරු 170ක පමණ ප්‍රමාණයක් සොයාගත හැකි විය. එසේම ,, වැනි විශේෂ බලකා සෙබළ සිටි දෙසින් ද එල්.ටී.ටී.ඊ. සිරුරු 20ක් පමණ සොයා ගත හැකි විය. මීට අමතරව මේජර් කමල් ගුණරත්න සිටි දෙසින් ද ත්‍රස්ත මළ සිරුරු 150ක් පමණ සොයා ගත හැකි විය.

මේ සියලු මළ සිරුරු එල්.ටී.ටී.ඊ.ය විසින් දමාගිය සිරුරු වූ අතර එහිදී ඔවුනට අසීමිත හානියක් සිදු වී තිබුණි. මෙම ගැටුම සිදුවූවේ වලිකාමම් ප්‍රදේශයේය. ත්‍රස්තයන් මර්දනය කර එම ප්‍රදේශය අත්පත් කර ගැනීමට ආරක්ෂක භටයන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමට හේතු පාදක විය.

මේ ආකාරයට දිගින් දිගටම දිවා රෑ සටන් කරමින් ජයග්‍රහණය තහවුරු කර ගත් හමුදා සෙබළු යාපනය නගරයට ළඟා වූ අතර 51, 52, 53 යන බළසේනා තුනමට නැවතත් ප්‍රබල එල්.ටී.ටී.ඊ. ප්‍රහාර වලට මුහුණ දීමට සිදු විය. එම නිසා දින කීපයක්ම නගරයට ඇතුලු නොවී එකම තැන සිට සටන් කිරීමට සිදු විය.
එවැනි වාතාවරණයකදී ජෙනරාල් ජානක පෙරේරා විසින් අණ දෙන නිලධාරින් සියලු දෙනා එකතු කර මුහුණ පා සිටින තත්ත්වය පැහැදිලි කර නගරයට ඇතුළුවීමේ කටයුත්ත විශේෂ බළකා සෙබළුන්ට භාර කළේය.

ගොඩනැගිලි බහුල වූ මෙම ප්‍රදේශය එල්.ටී.ටී.ඊ.යට හුරු පුරුදු වූ අතර සැඟව සිටින වෙඩික්කරුවන්ට හමුදාව ඉලක්ක කිරීම පහසු විය. සිවිල් වැසියන් බේරමින් ත්‍රස්තයන් සොයා ගැනීම හමුදාවන්ට දුෂ්කර කටයුත්තක් වූවේය. එම නිසා ෂෂ වැනි විශේෂ බළකාය බුද්ධි අංශ තොරතුරු වල සහාය ලබා ගත්හ. එහිදී යාපනය ජැටිය පැත්තෙන් තිබූ එල්.ටී.ටී.ඊ. සැපයුම් මාර්ගය අවහිර කිරීම පිළිබඳ කටයුත්ත ෂ වැනි හා දෙවැනි විශේෂ බළකා සෙබළුන්ට හා කමාන්ඩෝ භටයන්ට  භාර වූවේය.
ඒ අනුව කටයුතු කළ මෙම ආරක්ෂක භට පිරිස් ජැටිය පැත්තෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කළහ. එල්.ටී.ටී.ඊ.ය මෙම ප්‍රහාරය බලාපොරොත්තු නොවූ අතර පළමු දවස තුළම කිලෝමීටර් 3ක ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට ආරක්ෂක හමුදාවන්ට හැකි වූවේය.

දෙවැනි දවසේදී ආරක්ෂක භට පිරිස් ජැටිය ආසන්නයටම ගිය අතර බියට පත් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත භට පිරිස් බොහෝමයක් නගරයෙන් පලා ගොස් සිටියහ.
එය ආරක්ෂක හමුදාවන්ගේ බලය තහවුරු කර ගැනීමට හේතු පාදක වූ අතර ඔවුහූ නගරය මධ්‍යයටම ගොස් බලය තහවුරු කළහ.

එහෙත් සිවිල් වැසියන් අතර සැඟවී සිටි ත්‍රස්තයන්ගේ සහ ගොඩනැගිලි වල සැඟවී සිටි සැඟවුණ වෙඩික්කරුවන්ගේ (ස්නයිපර්) වෙඩි ප්‍රහාර වලින් බේරී සිටීමත් බිම් බෝම්බ සහ ගොඩනැගිලි වල අටවා තිබූ පැති බෝම්බ වලින් ආරක්ෂාවීම පිළිබඳවත් අවධානයෙන් සිටීමට ආරක්ෂක හමුදාවන්ට සිදු විය.

එවැනි වාතාවරණයකදී දෙමළ ජනයාගේ ආරක්ෂාව සඳහා ඔවුන් කෝවිල් සහ පන්සල් වලට යොමු කිරීමද ආරක්ෂක හමුදාවන් විසින් සිදු කරන ලදී.
මේ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් යාපනය නගරයේ බලය හමුදාව අතට පත්වෙද්දී සිවිල් දෙමළ ජනතාව හමුදා පාලන ප්‍රදේශයක සිටීම එල්.ටී.ටී.ඊ.යට බලවත් පාඩුවක් වන බව ඔවුහු දැන සිටියහ. ඊට ප්‍රධානම කාරණා කීපයක් තිබූ අතර සිවිල් ජනයා අතර පවතින රත්‍රන්, මිල මුදල් ලබා ගැනීමත් අවශ්‍ය වූ විට ඔවුනගේ දූවරුන් හා පුතුන් එල්.ටී.ටී.ඊ.යට බඳවා ගැනීමත් එල්.ටී.ටී.ඊ.යේ අරමුණු විය. ඒ නිසා යුද හමුදාවේ විවිධ කරදර වලට සිවිල් දෙමළ ජනතාව පත්වේවි යන මානසික බිය උපදවා ඔවුන් නගරයෙන් පිටමන් කර ගැනීමේ කටයුත්ත එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාත්මක කළේය. එහිදී සිය දේපළ දමා යාමට අකමැති වූ සිවිල් වැසියන් එල්.ටී.ටී.ඊ. තුවක්කුකරුවන්ගේ වෙඩි උණ්ඩයට ගොදුරු වූ අතර විශාල පිරිසක් මරණ භය නිසාම නගරයෙන් පිටවීමට කටයුතු කළහ.

මේ ආකාරයට රාජ්‍ය හමුදාව ජයග්‍රහණය කර යාපනය අත්පත් කර ගනිද්දී එල්.ටී.ටී.ඊ.ය ඔවුන්ගේ පෞද්ගලික වාසිය තකා අහිංසක දෙමළ ජනතාව අසරණභාවයට පත් කළහ. මෙම මෙහෙයුම් සඳහා විශේෂ බළකා සෙබළු 1000ට අධික ප්‍රමාණක් සම්බන්ධ වූ අතර ෂෂ වැනි විශේෂ බළකායේ නිලධාරින් ලෙස කර්නල් රාජ් විජේසිරි, කැප්ටන් හරේන්ද්‍ර රණසිංහ, කැප්ටන් උපුල් වීරසිංහ, කැප්ටන් චූල දෙල්වල කැප්ටන් ගනී මොහිදීන් සහ හොටෙල් බලගණයේ කැප්ටන් මාතග යහම්පත්, එකෝ බලගණයේ කැප්ටන් ඊරියගම, බ්‍රාබෝ බලගණයේ කැප්ටන් සුජීව යාපා, ඩෙල්ටා බලගණයේ කැප්ටන් මහින්ද රණසිංහය යන පිරිස සහභාගි වූහ. ෂ වැනි විශේෂ බළකායට සම්බන්ධ වූයේ කර්නල් ජයවි ප්‍රනෑන්ඩෝ, මේජර් චන්න වඩුගේ, ඇල්ෆා බලගණයේ මේජර් අනිල් ප්‍රනෑන්ඩෝ, චාලි බලගණයේ මේජර් සුජීව යාපා, ඩෙල්ටා බලගණයේ මේජර් කැළුම් ප්‍රනෑන්ඩෝ ෆොක්ස්රෝඞ් බලගණයේ මේජර් ධම්මික හේවගේ යන පිරිසයි.

බිම්වෙඩි, සැඟවුණ වෙඩික්කරුවන් ගොඩනැගිලි වලට සවි කළ බෝම්බ වැනි යුද උපක්‍රම භාවිත කළ ත්‍රස්තයෝ නිදහස් භූමි වල ගමන් ගන්නා යුද්ධ ටැංකි වලට පහරදීමට ආර්.පී.ජී. භාවිතා කිරීම ද සිදු කළහ. ඊට අමතරව බර අවි භාවිතා කර ආරක්ෂක හමුදාවන්ට පහර දුන් අවස්ථාද විය.

ඔවුන් එවැනි දේ සිදු කළ ද යුද හමුදාවන් ජයග්‍රහණය ලැබුවේ සීබ්‍රවා යුද උපක්‍රම භාවිත කිරීමෙනි. එහිදී ගොඩනැගිලි සහිත සිවිල් වැසියන් සිටින ස්ථාන වල ඔවුනට හානි නොවන පරිදි සතුරා පරාජයට පත් කිරීමේ ක්‍රමවේදය ලංකාවේ භූමි පිහිටීමට අනුව නිර්මාණය කර ගැනීම, අප හමුදාව සිදු කළහ. එවැනි මානුෂික මෙහෙයුමක යෙදුණු ආරක්ෂක හමුදාව මාසයක පමණ කලක් සටන් කළ අතර ඉන් ආරක්ෂක සෙබළු 50ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 150ට අධික සෙබළු තුවාල ලැබූහ.

මේ නිදහස් මාතෘභූමිය තෙත් කරමින් ගලා ගිය වීර සෙබළුන්ගේ රතු රුධිරයේ ප්‍රතිඵලයයි. එය ආරක්ෂා කිරීම සැමගේ යුතුකමයි.

මුලතිව් මුදාගන්න මාරාන්තික සටනක්


      

මුලතිව් යුදහමුදා කඳවුර ශ්‍රී ලංකා හමුදාවෙන් ගිලිහී ගියේ 1996 ජූලි මාසයේදීය. මෙම කඳවුර ඇදවැටීම හමුදාවට විශාල හානියක් වූයේ එය සේනාංක මූලස්ථානයක්ද වීම නිසාය. කඳවුර මුදා ගැනීම සඳහා විශේෂ බළකා සෙබළුන් ගුවනින් ගොඩ බැස්සවීමට දරණ ලද උත්සාහය ද ව්‍යර්ථ වූයේ ඒවනවිට සමස්ත කඳවුරම කොටි සංවිධානය අතේ පැවැති නිසාය. විශේෂ බළකා සෙබළුන් කළ වික්‍රමාන්විත මෙහෙයුම මෙමඟින් විස්තර කෙරේ. 

කර්නල් ෆස්ලි ලෆීර් හෙලිකොප්ටරයෙන් පනිද්දීම වෙඩි වරුසාවක්.
මියගිය සෙබළ සිරුරු ගේන්න බැරිව මුලතිව් වෙරළේ වළ දැම්මා.
නිලධාරීන්ගේ අඩුව පුරවන්න කර්නල් ප්‍රසන්න සිල්වා සටන් පුහුණු පාසලේ සිට යුද පිටියට එයි.
සෙබළුන් දහසක් සමඟ මුලතිව් ඇද වැටෙයි.

ඒ වනවිට පැවැති රජය යුද පුවත් වාරණයක් පනවා තිබූ නිසා මෙම තොරතුරු එදා දකුණු ප්‍රදේශයට සම්ප්‍රේෂණය වූයේ නැත. කර්නල් රාජ් විජේසිරි තවදුරටත් විස්තර කරයි.
එක් පසෙකින් මහා මුහුදය. තවත් පසෙකින් ගොඩබිමය. මුලතිව් කඳවුර ඒ මධ්‍යයේ පිහිටා තිබුණේය. එය කිලෝමීටර් 3ක් පමණ දිගය. කිලෝමීටරයක් පමණ පළලය. එහි ආරක්‍ෂාවට යුද හමුදා සෙබළු දහසකට වැඩියෙන් සිටියහ.

1995
වසරේදී රිවිරැස මෙහෙයුම සිදුවූවේය. යාපනය නගරයේ ආධිපත්‍ය පතුරවා සිටි ත්‍රස්තයෝ පරාජය වූහ. යාපනය ශ්‍රී ලංකා සන්නද්ධ සේනාවන්ගේ පාලනයට පත්වූවේය. එම යුද ජයග්‍රහණය නොඉවසූ ත්‍රස්තයෝ තවදුරටත් සන්නද්ධ වූහ. ඒ වෙනුවෙන් වෙනත් භූමියක් අත්පත් කර ගැනීමට මාන බලමින් සිටියහ. මුහුදින් සහ ගොඩබිමින් උපරිම ප්‍රයෝජන ගත් ඔවුහු මුලතිව් කඳවුර ආක්‍රමණය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කළහ. ඒ 1996 ජූලි 18 වැනිදාය. බර අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළ ත්‍රස්තයෝ එක් රැයකින් මුලතිව් කඳවුරේ ආධිපත්‍ය ලබා ගත්හ. 

හමුදා සෙබළුන් විශාල පිරිසක් මරා දැමූ ඔවුහු තවත් පිරිසක් කඳවුර තුළ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගත්හ. කඳවුර තුළ තිබූ බර අවි සහ පතරොම් ඔවුනගේ අයිතියට පත්විය.

ඒ වනවිටත් » වැනි සහ »» වැනි විශේෂ බළකා සෙබළු තොප්පිගල මෙහෙයුමකට සූදානම්ව සිටියහ. එහෙත් සිය සහෝදර සෙබළු මුලතිව්හි ප්‍රාණ ඇපකරුවන්ව සිටින බව දැනගත් වහාම මේජර් ජානක පෙරේරාගේ උපදෙස් පරිදි තොප්පිගල මෙහෙයුම නවතා මුලතිව් බලා පියාසර කිරීමට » වැනි විශේෂ බළකාය මෙහෙයවූ කර්නල් ෆස්ලි ලෆීර් ඇතුළු ඔහුගේ කණ්ඩායමට අණ ලැබිණි. ත්‍රිකුණාමලයේ චයිනබේ අහසට නැගුණු හෙලිකොප්ටර් යානා මුලතිව් වෙරළට ළඟා විය. එහෙත් එහි දක්නට ලැබුණේ බිහිසුණු දර්ශනයකි. විශාල ශබ්ද නගමින් බර අවි ප්‍රහාර, ගුවන් යානා කරා ඇදී ආවේය. එබැවින් යානා පහතට ගත නොහැකි විය. එඩිතර නිලධාරියෙක් වූ කර්නල් ලෆීර්ගේ අවසන් නිවේදනය වූයේ යානාවලින් කෙසේ හෝ බිමට පැන ගත යුතුය යන්නයි. 

ත්‍රස්තයාගේ කැලිබර් 50 අවිය හෙලිකොප්ටරය ඉලක්ක කළේය. එහෙත් හෙලිකොප්ටරයෙන් කළ දූවිලි ඇවිස්සීම ත්‍රස්තයා නොමඟ යැව්වේය. යානයෙන් ප්‍රථමයෙන් බිමට පැනීමට කටයුතු කළේ කෝප්‍රල් ලන්දේකුඹුරය. එහෙත් ඔහු සතුරු වෙඩි පහරකට ලක්විය. ඒ නිමේෂයේ කෝප්‍රල් මංජුල ඇතුළු පිරිස බිමට පැනගත් අතර කැලිබර් 50 අවිය ක්‍රියාකරවූ ත්‍රස්තයා ඉලක්ක කළේය. ඉලක්කය සාර්ථක විය. කැලිබර් 50 අවිය යුද සෙබළුන් අතට පත්වූයේය. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් සෙබළුන් යානාවෙන් පිටතට පැනගත්හ. ඒත් සමඟම ත්‍රස්තයන්ගේ වෙඩි වරුසා තව තවත් වැඩිවූවේය. ඉතිරි හෙලිකොප්ටර් බිමට පහත් කළ නොහැකි තරමටම ප්‍රහාරය උග්‍රවූවේය. තම සහෝදර සෙබළුන් තනිව සටන් කරද්දී විශේෂ බළකා සෙබළෙකුට පිටුපා යා නොහැකිය. එම නිසාම අන් ගුවන් යානාවල නියුමුවන්ට යානා ගොඩබිමට පහත් කරන ලෙස එස්.එෆ්. සෙබළු බල කළේය. වෙඩි වරුසා මධ්‍යයේම පැමිණි සෙබළු වෙරළට ගොඩබටහ. සතුරාට පහර දෙමින් ස්ථානගතවූ අතර ගොල්ෆ් සහ චාලි බලගණ සටන් බිමේ පෙරමුණ ගත්හ. 

»
වැනි විශේෂ බළකාය ඒ ආකාරයට මුලතිව් මෙහෙයුමේ නිරත වෙද්දී කර්නල් රාජ් විජේසිරි ප්‍රමුඛ »» වැනි විශේෂ බළගණය තොප්පිගල කුලිපංචිකල් ප්‍රදේශයේ සිට මුලතිව් සටනේ තොරතුරු පිළිබඳව අවධානයෙන් සිටියහ. 

ඔවුනට ඇසීමට ලැබෙන්නේ අසුබ ආරංචියකි. ඒ යුද පිටියේ දැවැන්ත චරිතයක් වූ කර්නල් ෆස්ලි ලෆීර් මෝටාර් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.
සෙබළුන්ගේ යුද පිටියේ වීරයා වූ කර්නල් ලෆීර් ත්‍රස්ත ප්‍රහාරයට ලක්වීම » වැනි විශේෂ බළකායේ මානසික ශක්තිය බිඳ වැටීමට හේතුවක් විය. එසේම ලෙෆ්ටිනන් චමින්ද රණසිංහද එම මෝටාර් ප්‍රහාරයෙන්ම ජීවිතක්‍ෂයට පත්වූවේය. එවැනි වාතාවරණයකදී ඉදිරියට යන සෙබළුන්ට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වූවේය. එම අඩුව පිරවූයේ »» වැනි අණදෙන නිළධාරියා වූ මේජර් ජයන්ත රත්නායකය. එසේම මේජර් නාලක සිල්වා කාලතුවක්කු බළකායේ මෙහෙයවීම් කටයුතු සිදු කළේය. 

මුලතිව් සටන් එසේ පවතිද්දී මේජර් ජානක පෙරේරා »» වැනි විශේෂ බළකායට තොප්පිගලට නොගොස් පූනානි වෙත පැමිණෙන ලෙස උපදෙස් ලබා දුන්නේය. එහි සිට » වැනි විශේෂ බළකා සෙබළුන්ගේ සහායට අවශ්‍යවෙනවිට සහභාගීවීමට සූදානම්වෙන ලෙස වැඩිදුරටත් උපදෙස් දුන්නේය. ඒ අනුව කටයුතු කළ මේජර් රාජ් විජේසිරි ඇතුළු පිරිස පූනානිවලට පැමිණ ත්‍රිකුණාමලයට යෑම සඳහා සූදානම් වූහ. 

ඔවුන් ඒ ආකාරයට සූදානම් වනවිට මුලතිව් මෙහෙයුමට අවශ්‍ය සහය දැක්වීම සඳහා වින්ග් කමාන්ඩර් හර්ෂ අබේවික්‍රම, හිටපු ගුවන් හමුදාපතිතුමාද සුවිශාල සහයෝගයක් දුන්නේය. ඒ වනවිට මුලතිව්හි සටන් කරන වීර සෙබළු බොහෝ දෙනෙක් සතුරු ප්‍රහාරයන්ට ලක්වී තුවාලවී සිටියහ. තවත් පිරිසක් මව්බිම වෙනුවෙන් ජීවිතය පුදදී සිටියහ. සටන් බිමේ සිටිනා සෙබළුන්ගේ පතුරොම්ද ටික ටික අඩුවූවේය. සෙබළුන්ගේ සහය සේම යුද උපකරණ ලබා ගැනීමද ඔවුනගේ ප්‍රබල අවශ්‍යතාවක් විය. 

යානාවේ ගමන් ගන්නා සෙබළුන්ගේ බර මැන බලා ඉතිරිය පිරෙන්නට පතුරොම් ලබාදීමට කටයුතු කළේ වින්ග් කමාන්ඩර්වරයාය. ඔහුගේ නොමඳ සහය ලබාගත් කපිතාන් ස්ටැන්ලි සිරිමාන්න සහ ලුතිනන් කමල් අමරසිංහ ඇතුළු පිරිස මුලතිව් වෙරළ බලා අහසින් පියාසර කරන්නට වූහ. 

ඒ වනවිටත් මුලතිව්හි සිටි සෙබළුන්ට දුෂ්කරතා රැසකට මුහුණ දෙන්නට සිදුවී තිබිණ. සතුරු ප්‍රහාර හමුවේ නොපසුබටව ධෛර්යයෙන් කටයුතු කළ සෙබළුන් ආහාර හා ජලය හිඟතාවයෙන් පෙළුණේය. වෙඩි වැදී තුවාල වී සිටි ඇතැම් සෙබළු බෙහෙත් නොමැතිව ඒ ඉරියව්වෙන්ම මියගොස් සිටියහ.
මේවනවිට පූනාහි දක්වා පැමිණ සිටි »» විශේෂ බළකා සෙබළු සිය සහෝදරයන්ට උදව් අවශ්‍යව ඇති බැවින් මුලතිව්වලට හැකි ඉක්මනින් ගෙනයන ලෙස ඇවිටිලි කළහ. මේජර් ජානක පෙරේරාගේ අණ ලද විගසම ක්‍රියාත්මක වූ කර්නල් රාජ් විජේසිරි ඇතුළු »» වැනි විශේෂ බළකා සෙබළු ත්‍රිකුණාමලය බලා සිටත්වූහ. 
ඔවුන් බස් රථ ඒ සඳහා භාවිතා කළ අතර දවල් 2ක පමණ වනවිට ත්‍රිකුණාමලයට ගොස් එම්. අයි. සෙවන්ටි හෙලිකොප්ටර් හයකින් මුලතිව් බලා පිටත්වීමට සැලසුම් කළහ. සොයුරු සෙබළුන්ට කෑම, වතුර, බෙහෙත් සහ පතුරම් රැගෙන යාමට ඔවුහුද කටයුතු කළහ. 

සෙබළුන්ගේ බර අනුව 180 දෙනෙක් තෝරාගත් අතර හොටෙල් බලගණයේ ලෙෆ්ටිනන් මානව යහම්පත්, බ්‍රාවෝ බළ ගණයේ ලෙෆ්ටිනන් රත්න ප්‍රියබන්ධු, ඩෙල්ටා බළගණයේ ලෙෆ්ටිනන් මහින්ද රණසිංහ, එකෝ බලගණයේ කැප්ටන් නිශ්සංක ඊරියගම යන පිරිස් මීට නායකත්වය ලබා දුන්හ.
මීට අමතරව ලෙෆ්ටිනන්ට් චමින්ද දාබරේ සහ ලෙෆ්ටිනන්ට් සංජීව සහ ලෙෆ්ටිනන්ට් එරන්ද රත්නායකද ඊට සහභාගී වූහ. 

මෙම හෙලිකොප්ටර් හයම ගමන් ගත්තේ මුහුද මධ්‍යයේය. ඒ වනවිටත් මුහුදු තීරයේ නාවික හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ය සටන් කරමින් සිටියහ.
»»
වැනි විශේෂ බළකා සෙබළුන් ගුවන්ගත වෙනවාත් සමඟම එම්. අයි. 24 ප්‍රහාරක ගුවන් යානා සහ මිග් යානා ගමන් ගත් අතර ත්‍රස්තයන්ට ප්‍රහාරදීම ආරම්භ කළහ. එසේ පහරදෙන අතරතුර විශේෂ බළකා සෙබළු රැගෙන ගිය හෙලිකොප්ටර් මුහුදු තීරයට පහත් කරන්නට විය. ඒ දෙසටද සතුරා වෙඩි තියන්නට වූවේය. 

එක් හෙලිකොප්ටරයක් සතුරු වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර හෙලිකොප්ටර් 5ක්  පමණක් බිමට පහත් කළේය. විශේෂ බළකා සෙබළු වෙඩි වරුසා මධ්‍යයේම ආයුධත් රැගෙන බිමට පනින්නට වූහ. බිමට බැසගත් විශේෂ බළකා සෙබළු සතුරු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකරමින් » වැනි විශේෂ බළකා කණ්ඩායම සිටි දෙසට ගමන් කරන්නට වූ අතර ඔවුනට මුලතිව් කඳවුරේ සිට පැනගත් සෙබළුන් පස් දෙනෙක්ද එකතුවූහ. 

කෑම, වතුර නොමැතිව දින ගණනාවක් ජීවිතාරක්‍ෂාව පතමින් පැමිණි එම සෙබළුන් බොහෝසේ දුර්වලවී සිටියහ. ඔවුනට සහෝදර එස්. එෆ්. සෙබළු හමුවීමත් නව බලාපොරොත්තුවක් විය. 


නව ජවයක් ලද සෙබළු සතුරාට පහර දෙමින් ඉදිරියටම ඇදුනහ. එම බිහිසුණු සංග්‍රාමයේදී විශේෂ බළකා සෙබළු කීප දෙනෙකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූහ. එහි තවත් ඛේදවාචකයක් වූයේ මුලතිව් කඳවුරේ සිට ජීවිතාපේක්‍ෂාවෙන් පලා ආ සෙබළුන් 5 දෙනාගෙන් තිදෙනකු මිය යාමය. මෙහිදී විශේෂ බළකා සෙබළුන්ට තවත් අභියෝගයකට මුහුණදීමට සිදුවිය. එනම් අවි ආයුධත් සමඟ තුවාල ලත් සෙබළුන්ද රැගෙන යාමය. මෙහිදී මියගිය සෙබළුන්ගේ සිරුරු වැල්ලේ වළවල් හාරා තැන්පත් කළ අතර පසුව සොයා ගැනීම සඳහා විශේෂ ජී. පී. එස්. සටහන් තබා ගත්තේය. 

හදවත් වේදනාවෙන් පිරුණද ජීවත්වන සෙබළුන්ගේ ජීවිත බේරාදීම විශේෂ බළකා සෙබළුන්ගේ පරමාර්ථය වූවේය. මේ ආකාරයටම යුද්ධය මෙහෙයවමින් සිටි »» වැනි විශේෂ බළකායේ අණදෙන්නා වූ රාජ් විජේසිරි ද ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූවේය. ඔහුගේ පපුවම ත්‍රස්තයාගේ ඉලක්කය වූ අතර එය දරුණු ප්‍රහාරයක් වූවේය. 

ලෙෆ්ටිනන් මහින්ද රණසිංහ සහ ලෙෆ්ටිනන් ඊරියගමට නැවතත් »» වැනි විශේෂ බළකා සෙබළුන්ගේ මානසික තත්ත්වය ගොඩ නගමින් සටනට මුහුණදීමේ කටයුතු සැලසුම් කරන්නට සිදුවිය. ඒ වනවිටත් රාත්‍රිය උදාවෙමින් තිබූ අතර » වැනි විශේෂ බළකා සෙබළුන්ට සමීපවීමට තිබුණේ කිලෝමීටරයක පමණ ප්‍රමාණයකි. 

එහෙත් කර්නල් රාජ් විජේසිරිට වෙඩි වැදීමෙන් පසු ඔවුන් මඳ වේලාවක් නිහඬවී වෙරළ ආසන්නයට ගොස් තුවාල ලත් සෙබළුන්ට ප්‍රතිකාර කරමින් රැය පහන් කරන්නට වූහ. 

කර්නල් ලෆීර්ගේ මරණයත්, කර්නල් රාජ් විජේසිරිගේ තුවාල වීමත් විශේෂ බළකා සෙබළුන්ට සුවිශාල පාඩුවක් වූ අතර ඒ වනවිට විශේෂ බළකා පුහුණු පාසලේ අණදෙන නිලධාරියාව සිටි මේජර් ප්‍රසන්න සිල්වා ස්වේච්ඡාවෙන්ම යුද පිටියට පැමිණීම භාර ගත්තේය. 

කර්නල් රාජ් විජේසිරි රැගෙන යාමට එන හෙලිකොප්ටරයට ගොඩනැගුණු මේජර් ප්‍රසන්න සිල්වා මුලතිව් සටන් භූමියට සම්ප්‍රාප්ත වූවේය. 

රාත්‍රි අඳුරේම මුලතිව් මුහුදු තීරයට ෆ්ලයිට් ලෙෆ්ටිනන් දුෂ්‍යාන්ත හෙට්ටිආරච්චි පැදවූ ගුවන් යානාව ගොඩ බැස්සවූවේය. ඒ වනවිටත් තුවාලවලින් බඩට ලේ බහිමින් සිටි රාජ් විජේසිරි, දුර්වල තත්ත්වයේ පසුවූ අතර මේජර් ප්‍රසන්න සිල්වාගේ පැමිණීම ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හේතු වූවේය. 

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගේ නොමඟ යැවීමේ විදුලි සංඥාවලට සාර්ථකව මුහුණ දුන් ගුවන් නියමුවා කර්නල් රාජ් විජේසිරි ඇතුළු අනතුරට ලක්වූ සෙබළුන් රැගෙන යළි ගුවන් ගත වූවේය. 

උදේ වනවිට ත්‍රස්ත ප්‍රහාර යම් තරමකට අඩුවී තිබුණේය. වරින් වර වෙඩි හඬ ඇසුණද ඊට සාර්ථකව මුහුණ දුන් දෙවැනි විශේෂ බළකා සෙබළු කිලෝ මීටරයක දුර ගෙවා » වැනි විශේෂ බළකා සෙබළ කණ්ඩායමට එකතුවූහ. 

ඒ වනවිටත් » වැනි විශේෂ බළකායේ සෙබළුන් කීප දෙනෙක් මියගොස් සිටි අතර තවත් පිරිසක් තුවාල ලබා සිටියහ. එහෙත් තුවාල ලබා සිටි සෙබළු පවා »» වැනි විශේෂ බළකා සෙබළු පැමිණෙනතුරු සාර්ථකව සතුරාට මුහුණ දුන්නහ. 

මේජර් ප්‍රසන්න සිල්වාගේ පැමිණීමත් සමඟ විශේෂ බළකායේ ධාවන පැදි බළගණයේ කැප්ටන් බන්ධු වික්‍රමසිංහ සහ කැප්ටන් මානව යහම්පත් ඇතුළු පිරිසක් මුලතිව් සටනට සම්බන්ධ වූහ. 

ඔවුහු ඒ සඳහා ගෙන ආවේ නාවික හමුදාවේ කමාන්ඩර් දියබලනගේ පාලනය කළ එල්.සී.එම්. යාත්‍රාවකය. මේ කාර්යයන් මෙහෙයවන ලද්දේ මේජර් හරේන්ද්‍ර රණසිංහයන්ය.

නාවික හමුදා සෙබළුන් සහ විශේෂ බළකා සෙබළුන් රැගත් යාත්‍රාව වෙරළට ළඟාවෙද්දී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝට්ටු විශාල තර්ජනයක් වූවේය. එක් ඩෝරා යාත්‍රාවක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් අතින් විනාශ වූ අතර එල්.සී.එම්. එක බේරා ගැනීම විශාල තර්ජනයක් වූවේය. එබැවින් මේජර් හරේන්ද්‍ර රණසිංහයන් එකෝ බළගණය සහ හොටෙල් බළගණය දෙපැත්තක සිට එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝට්ටුවලට පහරදීම සඳහා මෙහෙයවූවේය. ඔහුගේ කාර්යභාරය සාර්ථක විය. එල්.සී.එම්. එකට පහරදීමට එල්.ටී.ටී.ඊ. යාත්‍රා රාශියක් පැමිණි අතර මරාගෙන මැරෙන කුඩා බෝට්ටුවක්ද ඒ අතර විය. මීටර් 50 පමණ දුරක තිබියදී එම කුඩා බෝට්ුව විනාශ කිරීමට යුද සෙබළුන් සමත්වූ අතර ඒ එල්. සී. එම්. යාත්‍රාවේ පැමිණි 300ක පමණ සෙබළුන්ගේ ජීවිත බේරුණි. 

කර්නල් සිල්වා සමඟ වෙරළට ගොඩබට සෙබළු ප්‍රීතියෙන් කෑගැසූහ. ඔවුහු ජයග්‍රාහී උද්දාමයෙන් සිය සහෝදර සෙබළුන් සිටින ස්ථානය බලා ගමන් ගත්හ. ගතවූයේ නිමේෂයකි. එකවරම ඔවුන් සිටි දෙසට මෝටාර් ප්‍රහාරයක් ආවේය. එකතැන තවත් සෙබළු තිදෙනෙක් අවසන් සුසුම් හෙළුෑහ.
මෙවැනි ඛේදවාචක මධ්‍යයේ සියලු හමුදාවෝ එකට එකතුවූහ. තවත් සෙබළු පිරිසක් රැගෙන ආ හෙලිකොප්ටරයක තුවාල ලබා සිටි සෙබළුන් ආපසු යවන ලදී. 

යුද බිමේ සිටි සෙබළු දින ගණනාවක් දිවා රාත්‍රී නොබලා සතුරා සමඟ සටන් කළහ. මේ පිරිස අතර වෛද්‍යවරු දෙදෙනෙක් සිටි අතර යුදබිමේ තුවාල ලබන සෙබළුන්ට ප්‍රතිකාර කිරීමේ කාර්ය සිය යුතුකමකොට වීර්යයෙන් යුතුව සිදු කළහ. 

මේ සියලු දේ මෙසේ සිදුවෙද්දී ධාවන පැදි බළගණය තවත් අනතුරකට ලක්වූවේය. ත්‍රස්තයින් විසින් කූට යුද උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි.

මුලතිව් කඳවුරෙන් අල්ලාගත් සෙබළෙකු ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්කර මරාගෙන මැරෙන ත්‍රස්තයෙක් කඳවුරට කඩා පැන්නේය. ඉන් කඳවුර විනාශ වූ අතර එහි සිටි සෙබළු සිව්දෙනෙක්ද ජීවිතක්‍ෂයට පත්වූහ. 

මේ ආකාරයේ කූට යුද උපක්‍රම ත්‍රස්තයන් ක්‍රියාත්මක කළ අතර දින හතක් නිදි වර්ජිතව සිටි » වැනි හා »» වැනි විශේෂ බළකා සෙබළු සතුරා සමඟ සටන් කළහ. රාත්‍රි සටන් වාසියට හරවාගත් සෙබළු ත්‍රස්තයන් රාශියක් ජීවිතක්‍ෂයට පත් කළහ. 

කඳවුර අහිමිවී තිබියදී ත්‍රස්තවාදීන් විශාල පිරිසක් සමඟ සෙබළුන් සීමිත පිරිසක් මෙසේ යුදවැදි අතර එම පිරිසගේ සහයෝගයට ගැමුණු හේවා බළඇණිය, හයවැනි ශ්‍රී ලංකා පාබළ හමුදා බළඇණිය සහ කමාන්ඩෝ බළඇණියත් එකතුවූහ.

සියලුදෙනා එකතුවී සතුරු ප්‍රහාරවලට මුහුණදුන් අතර මුලතිව් කඳවුරේ තත්ත්වයද සොයා බැලූහ. ඒවන විටත් එහි සිටි එක් සෙබළු පිරිසක් ප්‍රහාර එල්ලවෙද්දී සතුරු ප්‍රහාරයට ලක්ව මියගොස් සිටි අතර ප්‍රාණ ඇපකරුවන් ලෙස සිරගත කර සිටි හමුදා පිරිස සමූල ඝාතනය කර තිබුණි. 

මේ අතරතුර ස්වාධීන බළසේනාධිපති බි්‍රගේඩියර් පර්සි ප්‍රනාන්දු, මේජර් සංගක්කාර යන පිරිස්ද සටනට එක්වූහ. එහෙත් මේජර් සංගක්කාර යානයෙන් බට මොහොතේම මෝටාර් ප්‍රහාරයකට ලක්ව මිය ගියේය. මුලතිව් කඳවුරේ බේරා ගැනීමට කිසිවෙකුත් නොමැති නම් තවත් සෙබළුන්ගේ ජීවිත අවදානමකට දැමිය නොහැකිය. 

සතුරාගේ බලය වැඩිවී තිබූ අතර සෙබළුන්ට තුන් පැත්තකින් වටකර පහර දෙන්නට විය. සෙබළුන්ට තිබුණේ මුහුදේ පිහිට පමණි. ඒ නිසා සිටින පිරිසගේ ජීවිත ආරක්‍ෂා කර ගනිමින් පසුබැසීමට අණ ලැබුණේය.

ගුවනින් සහ මුහුදින් භට පිරිස් ඉවත් කිරීමට සැලසුම් කළ අතර අවසානයේ යුදබිමෙන් ඉවත්වීමේ තීරණාත්මක කටයුත්ත හොටෙල් බළගණයට භාරවිය. පළමුව සටනට පිවිසි විශේෂ බළකාය දෙවැනි විශේෂ බළකායේ බළගණ දෙකක්ද මේජර් ප්‍රසන්න සිල්වා, මේජර් චන්න වඩුගේ, මේජර් දර්ශන රත්නායක, මේජර් ජයන්ත රත්නායක ඇතුළු පිරිස් ගුවනින් රැගෙන යාමට කටයුතු කළේය.

මෙලෙසින් ගුවනින් හා මුහුදෙන් එතෙරවීමට කටයුතු කළ හමුදාවන්ගෙන් තවත් කීප දෙනෙක්ම සතුරු ප්‍රහාර හමුවේ සහ අත් හැරීමෙන් මුහුදට වැටී ජීවිතවලින් සමුගත්හ. 

රාත්‍රිය පුරා ඉනවටක් බැසිය හැකි අගල් කැපීම සෙබළුන්ගේ කාර්යයක් වූයේය. ඒ ඔස්සේ ආරක්‍ෂාව සපයමින් එල්.සී.එම්. යාත්‍රාවට යම් සෙබළු පිරිසක් යැවූ අතර අවසන් මොහොත දක්වාම ගොඩබිම සටන් කෙරුවෝ නෙට් එකක ආධාරයෙන් යාත්‍රාව දක්වා ගමන් කිරීමට තීරණය වූවේය. 

මියගිය සෙබළුන් මුලතිව් වෙරළේ මිහිදන් කළ අතර ගෙනයා නොහැකි අවි වෙරළේ සඟවා දැමූහ. 

අවසාන නිමේෂයට කපිතාන් මානව යහම්පත්, ලුතිතන් එරන්ද රත්නායක, දෙවැනි ලුතිනන් සංජීව හොරවලවිතාන යන නිලධාරීහු ඇතුළු කණ්ඩායම් සම්බන්ධ වූ අතර වට කරමින් ප්‍රහාර එල්ල කරන සතුරාට සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කළහ. නෙට් එකේ ආධාරයෙන් එල්. සී. එම්. යාත්‍රාවට ගොඩවූ පිරිස දින ගණනාවක සටනට සමුදුන්හ. 

මේ ආකාරයට මුලතිව් හි පැවැති දරුණු සටනින් යුද පිටියේ අභීත සෙන්පතියකුවූ කර්නල් ලෆීර් ඇතුළු විශේෂ බළකා සෙබළු 35 ට ආසන්න සංඛ්‍යාවක් ජීවිතයෙන් සමුගත් අතර 100 ට අධික පිරිසක් තුවාල වූහ. එසේම ඒ වනවිටත් මුලතිව් කඳවුරේ සිටි දහසකට වැඩි පිරිස සටනේදී මියගොස් හෝ පසුව ඝාතනය කර දමා හෝ සිටියහ. 

එවන් වූ වාතාවරණයකදී ජීවිතය නොතකා ඉදිරියට ගොස් සිය සහෝදර සෙබළු බේරා ගැනීමට කටයුතු කළ විශේෂ බළකා සෙබළුන්ගේ වික්‍රමාන්විතය ප්‍රශංසනීයය.

යාපනය කොටුවෙන් සෙබළුන් මුදාගත් සුයිසයිඩ් එක්ස්ප්‍රස් මෙහෙයුම


  

දශක තුනකට ආසන්නව පැවැති කුරිරු යුද්ධය අවසන්වී ඇත. උතුරුකරයේත් දකුණුකරයේත් ජනතාව අද නිදහසේ ජීවත්වෙති. ඒ නිදහස ලබාදීමේ ගෞරවය හිමිවෙන්නේ ජීවිත පරිත්‍යාග කරමින්, සතුරු කුමන්ත්‍රණ පරාජයට පත් කරමින් එඩිතරව ඉදිරියට ගිය දේශයේ සිංහ පැටවුන්ටය. ඔවුන් කළ ආත්ම පරිත්‍යාගයන්ටය.
අද යුද්ධය පිළිබඳව බොහෝ කතා ඇසේ. එහෙත් එදා මුළු ලක්වාසීන්ම මරණ බියෙන් තැතිගෙන සිටි බව අප අමතක නොකළ යුතුය. ඒ නිසාම අපි දේශයේ මුරදේවතාවුන් සතුරාගෙන් සිය මව්බිම බේරාගත් වික්‍රමාන්විතයන් පිළිබඳ සටහනක් තබන්නෙමු. ඔවුන්ගේ ලේ, කඳුළු, දහඩිය තුළින් ජාති, ආගම්, භේදයකින් තොරව කළ කැපකිරීම් පිළිබඳව සටහන් තබන්නෙමු. වෙඩි හඬ, බෝම්බ හඬ පරයා නිවහල් දේශයක් ගොඩනැගීමට කැපවූ නියමුවන්ගේ ආත්ම පරිත්‍යාගයන් පිළිබඳ සටහන් තබන්නෙමු.
එම වීර වික්‍රමාන්විතයෙන් පිළිබඳව කතා කිරීමට සතුරාගේ උණ්ඩයට පපුව දුන් දේශයේ පුත්‍රයෙකු වූ කර්නල් රාජ් වීජේසිරි මහතා සම්බන්ධ කරගත්තෙමු. එය 1990න් ඇරඹි දශකය වූවේය. ඒ වනවිට යාපනය නගරය පුරා ත්‍රස්තවාදීහු සන්නාහ සන්නද්ධවී සිටියහ. යාපනයේ කොටුව තුළ පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, බැංකු නිලධාරීන් සිරවී සිටි අතර මුදල් සහ රත්‍රන් භාණ්ඩ ද විය. ත්‍රස්තවාදී ප්‍රහාර හේතුකොට ගෙන ඔවුනට එළියට ඒමට නොහැකි විය.
මේ පිරිස බේරා ගැනීමට දිවා කාලය නුසුදුසු විය. හේතුව ත්‍රස්තයන්ගේ ඉලක්කයන් වීමය. මිනිස් ජීවිතවල වටිනාකම මිල කළ නොහැකිය. ඒ නිසා කෙසේ හෝ ඔවුන්ව බේරාගත යුතුය. ඒ සඳහා වූ මෙහෙයුම් සිදුකළ යුත්තේ ද රාත්‍රියේය.
මේ අසීරු කර්තව්‍ය සිදුකිරීම විශේෂ බළකා සෙබළුන්ට බාරවිය. කළපුවත්, රාත්‍රියත් භාවිතයට ගත් විශේෂ බළකා සෙබළු ඒ අසීරු කර්තව්‍ය ත්‍රස්ත ඇසට වැලි ගසා සිදු කළහ. මිනිස් ජීවිත හා රාජ්‍ය දේපල ත්‍රස්ත ග්‍රහණයෙන් නිදහස් වූවේය.ඒ රණකාමී වික්‍රමාන්විතයේ වගතුග කර්නල් රාජ් විජේසිරි විස්තර කළේ මෙසේය.
මොන කාලයේ ද කොහේ ද මේ මෙයෙහුම සිදු කළේ?
1990
වසරේ යාපනය කොටුව ප්‍රදේශයේ.
මොකක්ද මේ මෙහෙයුමේ නම?
සුයිසයිඞ් එක්ස්ප්‍රස්.
ඇයි ඒ නම මෙහෙයුමට දැම්මේ?
මේක බැරූරුම් මෙහෙයුමක්. රාත්‍රී කාලයේ සිදුකළ යුතු වුණේ. මිනිස් ජීවිත හා දේපල බේරාගැනීම සූක්ෂමව සිදුකළ යුතු වුණා. ඇත්තටම තමන්ගේ ජීවිත නැතිකර ගන්නවා වගේ අවදානමක සිටයි මෙහෙයුම සිදුකළ යුතු වුණේ.
කවුද මෙහෙයුමට සම්බන්ධ වුණේ?
මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ප්‍රධානත්වයත් බි්‍රගේඩියර් විජය විමලරත්නගේ සහයෝගයෙනුත් මේ මෙහෙයුම ආරම්භ වුණේ. එය සැලසුම් කළේ මේජර් හෙට්ටිආරච්චි සහ 2 වැනි අණදෙන නිලධාරී ලෙස ක්‍රියා කළ මේජර් ජයවි ප්‍රනාන්දු.
මේ මෙහෙයුමේ මූලික කටයුතු කර්නල් ලෆිර්ගේ බ්‍රාවෝ බලගණයට බාරවුණා. ඊට ලෙෆ්ටිනන් සුජිත් කද්ගොඩආරච්චි සහ ලෙෆ්ටිනන් ධම්මික හේවගේ සහාය ලබා දුන්නා.
විශේෂ බළකා සෙබළුගේ සහය ලබාගත්තේ යාපනය කොටුව ප්‍රදේශය අල්ලා ගැනීමට ගිය තවත් සෙබළ පිරිසක් සහ නිලධාරීන් පිරිසක් බේරාගැනීමට. මොකක්ද ඒ මෙහෙයුම?
යාපනේ කොටුවේ මෙහෙයුමක් සිදුකරලා යාපනය රෝහල් ප්‍රදේශය අල්ලාගැනීමයි ඔවුන්ගේ අදහස වෙලා තිබුණේ. එවකට ආරක්ෂක ඇමැති හිටියේ රන්ජන් විජේරත්න මහත්තයා. ඔහුගේ උපදෙස් මතයි ජනරාල් කොබ්බෑකඩුව ඒ මෙහෙයුම දියත් කළේ.

කවුද ඒ මෙහෙයුමට එකතුකර ගත්තේ?
ෂ වැනි සිංහ රෙජිමේන්තුව ගත්තා. එහි අණ දුන්නේ ජනරාල් ෆොන්සේකා. ඔහු එවකට කර්නල්වරයෙක්. ඊට අමතරව ෂ වැනි ගජබා රෙජිමේන්තුව භාවිතා කළා. එහි අණ දෙන්න හිටියේ කර්නල් ගෝඨාභය රාජපක්ෂ. මේ දෙන්නගේ අණ දීම යටතේ ෂ සිංහ රෙජිමේන්තුව සහ ෂ ගජබා රෙජිමේන්තුව මෙහෙයුමට සම්බන්ධ කරගත්තා.
ඒ මෙහෙයුම ආරම්භ වුණේ කොහොමද?
මුලින්ම යාපනය කොටුව අසල ඇති ටෙලිකොම් කුළුණ පැත්ත අල්ලාගැනීමට ෂ සිංහ රෙජිමේන්තුව මෙහෙයුම දියත් කළා. ෂ ගජබා රෙජිමේන්තුව මෙහෙයුම දියත් කළේ ඊට විරුද්ධ පැත්ත අල්ලා ගැනීමට. (මාකට් එක පැත්ත). ඒ වෙද්දි එල්.ටී.ටී.ඊ. එක පොළව යට බංකර් හදාගෙන වටේ බිල්ඩින් අල්ලාගෙන සන්නද්ධ වෙලා ඉඳලා තිබෙන්නේ. ඒ නිසා අපේ හමුදා සෙබළුන්ට මීටර් 7580ට එහායින් යන්නට හම්බ වුණේ නෑ. සියයකට ආසන්න සෙබළුන් ප්‍රමාණයක් ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරු වුණා. එහිදී සෙබළු 20ක් 30ක් විතර මරණයට පත්වුණා. ඒ විදියට මියගිය සෙබළුන්ගේ සමහර මළ සිරුරු ලබාගැනීමට පවා නොහැකි වුණා. හේතුව ඒ මළ සිරුරු ගැනීමට ගිය සෙබළුන්ටත් ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වීමට සිදුවීම.
මේ වනවිට හෙලිකොප්ටර්වලටත් කොටුවට ඒමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබුණේ. ඒවාටත් එල්.ටී.ටී.ඊ. එකෙන් වෙඩිතියන්න පටන්ගත්තා. මේ අවස්ථාවේදී තමයි බි්‍රගේඩියර් කොබ්බෑකඩුව විසින් ෂ වැනි විශේෂ බළකායේ අණ දෙන නිලධාරියාව සිටි මේජර් හෙටිට්ආරච්චිට උපදෙස් දුන්නේ විශේෂ බළකා සෙබළුන් කොටුවේ සිරවී සිටින පිරිස මුදවා ගැනීමට යොමු කරන්න කියලා. මේ වෙනකොට අපේ විශේෂ බළකා සෙබළුන් නැගෙනහිර ප්‍රදේශයේ මෙහෙයුමක් සාර්ථකව නිමකරමින් සිටියේ. ඒත් සමගමයි අපිට යාපනය කොටුව මෙහෙයුමට සම්බන්ධ වෙන්න සිද්ධ වුණේ.
විශේෂ බළකා සෙබළු කොහොම ද ඒ මෙහෙයුම සැලසුම් කළේ?
මුලින්ම අපිව පලාලිවලට එක්කරගෙන ආවා. ඊට පස්සේ කයිට්ස්වලට ගියා. ඊළඟට මණ්ඩතිව්වලට ගිහින් එතනින් චිරුතිව්වලට රැගෙන ගියා. එතනින් තමයි අපි මෙහෙයුම ආරම්භ කළේ. එහිදී අපට පැවරුණේ කොහොම හරි යාපනය කොටුවට ගිහිල්ලා එහි හිරවෙලා හිටපු පිරිස සහ තුවාලකරුවන් මණ්ඩතිව්වලට ගෙන්වා ගැනීම.

කවුද මීට සම්බන්ධ වුණේ?
අපේ බළගණ 4ක් තිබුණා. ඇල්ෆා, බ්‍රාවෝ, චාලි, ඩෙල්ටා කියලා. ඒකෙන් ඇල්ෆා බළගණයේ අණදෙන්නා ලෙස මේජර් ප්‍රශන්න සිල්වා කටයුතු කළා. ඔහුගේ යටතේ තවත් නිලධාරීන් කීප දෙනෙක් හිටියා. බ්‍රාවෝ බළගණයේ අණදෙන්නා විදියට කටයුතු කළේ මේජර් ෆස්ලි ලෆීර්. චාලි බළගණයට අණදුන්නේ මේජර් මහේෂ් ජයසිංහ. ඩෙල්ටා බළගණයට අණ දුන්නේ මම.
කොහොමද මෙහෙයුම දියත් කළේ?
මුලින්ම චාලි බළගණය කොටුව දෙසට ගමන් ගත්තා. අපි රාත්‍රියයි කොටුවට ඇතුළුවීමට භාවිතා කළේ. ඒ වගේම කළපුව දිගේ තමයි අපිට යාමට සිදුවුණේ. මේ විදියට චාලි බළගණය මුලින්ම කොටුව දෙසට ඇතුළු වුණා. එහිදී එල්.ටී.ටී.ඊ එක ප්‍රහාර දියත් කළා. අපේ සෙබළුන් කීප දෙනෙක් තුවාල ලැබුවා. ඒත් සෙබළු පසුබැස්සේ නෑ. කොහොම හරි කොටුවට ඇතුළු වුණා.
ඔවුන්ට පවුර පල්ලෙහා ප්‍රදේශයක් අල්ලා ගැනීමට හැකි වුණා. ඊට පස්සේ ඇල්ෆා, බ්‍රාවෝ සහ ඩෙල්ටා කියන අපේ බළගණ තුනත් කොටුවට ඇතුළු වුණා. අපි කොටුවට ඇතුළු වීමෙන් අපේ පළවෙනි අරමුණ ඉටු වුණා. ඒ අරමුණ ඉටුකර ගත්තේ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දීලා. ඒත් අපේ අටදෙනෙක් විතර තුවාල ලැබුවා.
එදා රෑම අපි සැලසුම් කළා තුවාලකරුවන් සහ සිරවී සිටි පොලිස් නිලධාරීන් ආපසු යවන්න. ඔවුන්ව කළපුව දිගේ රැගෙන ගියා. ඒ වගේම බෝට්ටුවල එනිජින් ක්‍රියාකරවන්නේ නැතිව ඒවත් අපේ සෙබළු තල්ලුකරගෙන ගියේ. හේතුව බෝට්ටුවේ එන්ජිමේ හඬ ඇසුනොත් එල්.ටී.ටී.ඊ ප්‍රහාර සිදුවීම. මේ මෙහෙයුම සිදුකරද්දී පුංචි ශබ්දයක් පිළිබඳව පවා අපට හිතන්නට සිද්ධ වුණා. මේ විදියට අසාධ්‍ය තත්ත්වයේ සිටි පිරිස පිටත් කරලා දෙවැනි දවසේ සිටයි මෙහෙයුමේ ඉතිරිය ක්‍රියාත්මක කරවන්න සිදු වුණේ.
එහිදී යාපනය කොටුව ඇතුළට ආහාර ද්‍රව්‍ය ගෙන ඒම සහ අපේ තුවාලකරුවන් ආපසු යැවීම පිළිබඳවත් කටයුතු කිරීම සිදුකළ යුතු වුණා. හේතුව හැමදාම එල්.ටී.ටී.ඊ. එක බබා මෝටාර්එවීම. මහ ශබ්දයක් එක්ක මේ බබා මෝටාර්පුපුරණවා. ටෙලිකොම් ටවර් එක පැත්තේ ඉඳන් ඔවුන් ඒවා අපි ඉන්න දිහාවට එවන්නේ. එය වැටෙන ප්‍රදේශයට සෑහෙන විනාශයක් වෙනවා. කාමරයක් වගේ ඇතුළට වැටුණොත් කාමරයම පුපුරලා යනවා. මේ නිසා කොටුවේ සිරවෙලා සිටිය පිරිස කොහෙම හරි රාත්‍රී කාලයේ කොටුවෙන් ආරක්ෂිතව පිටත් කිරීම සිදු කළ යුතු වුණා.
මේ රාජකාරිය පැවැරුණේ බ්‍රාවෝ බළ ඇණියට (මේජර් ලෆීර්ගෙ කණ්ඩායම) සහ චාලි බළ ඇණියට.
ඒ අය රෑ වෙද්දී කළපුවට බහිනවා. ඊට පස්සේ එල්.ටී.ටී.ඊ. එකට කවර් වෙන විදියට ඇළක් දිගේ ගමන් ගන්නවා. එසේ ගමන් ගන්නා පිරිසෙත් විශේෂ බළකා සෙබළු 280ක් විතර සිටියා. කර වටක් වතුරේ බැහැලා ලණුවලින් එකිනෙකා සම්බන්ධ වෙලා තමයි මෙහෙයුම සිදුකළේ. ඒ අය බිම ප්‍රදේශ එහෙම කවර් කරද්දී අපි කොටුවේ උඩ බැම්මේ ඉඳලා (ඩෙල්ටා, ඇල්ෆා) ඒ අයට ආරක්ෂාව සපයනවා.
එහිදී ඨඡඵඨල ඛඵඨ වගේ බර අවි භාවිතයට ගැනීම සිදුකළා. උඩ ඉඳලා අපි ඒවායෙන් එල්.ටී.ටී.ඊ එකට වෙඩි තියනකොට ඔවුන්ට කළපුවේ ඉන්න පිරිසට වෙඩි තියන්න නොහැකි වෙනවා. ඒ උපක්‍රමය භාවිත කරලයි අපි කළපුවෙන් පිටකර යවන අයට ආරක්ෂාව සැපයුවේ. මේ ආකාරයට දවස් කීපයක්ම අපි මෙහෙයුමේ නිරත වුණා. මේජර් ජනරාල් කොබ්බෑකඩුවගේ උපදෙස් පරිදි කර්නල් ෆොන්සේකා, කර්නල් ගෝඨාභය රාජපක්ෂ යන පිරිස මේ මෙහෙයුම නැවත සිදුකරන ආකාරය සාකච්ඡා කළා.
ඒත් ඒ වනවිට එය දිගටම ගෙන යා නොහැකි තත්ත්වයක් තිබුණේ. අවසානයේ රන්ජන් විජේරත්න අමාත්‍යවරයාත් මණ්ඩතිව්වලට ආවා. අපේ අණදෙන නිලධාරීනුත් ඔහුව මුණ ගැසීමට ගියා. එහිදී සාකච්ඡා කර අවසානයට ගත් තීරණය වූයේ මෙහෙයුම අවසන් කර විශේෂ බළකා කණ්ඩායම් ආපසු ගෙන්වා ගැනීම. මෙය බැරෑරුම් සහගත තත්ත්වයක්. හේතුව වුණේ මේ වෙනකොටත් කොටුව ඇතුළේ 1000කට ආසන්න සෙබළුන් සංඛ්‍යාවක් සිරවී සිටීම.
මීට අමතරව පොලිසියේ අය 100කට ආසන්න පිරිසක් හිටියා. ඒ වගේම බැංකු නිලධාරීන් සිටියා. ඒ වගේම ලංකා බැංකුවේ මුදල් මිලියන ගණනක් තිබුණා. ඒ වගේම රත්‍රන් බඩු තිබුණා. පුපුරණ ද්‍රව්‍යත් තිබුණා. මේ සියලු දේ අපි මණ්ඩතිව් වෙත රැගෙන යා යුතු වුණා. එය එල්.ටී.ටී.ඊ. යට නොදැනෙන්න කළ යුතු වුණා. මෙය ඇත්තටම අපිට ලොකු අභියෝගයක්.

කොහොමද ඒ අභියෝගය ජයගත්තේ?
අපි අපේ කණ්ඩායමක් අත ආහාර ගෙන්වා ගද්දී කොටුව තුළ සිටින පිරිසෙන් 100ක් 150ක් විතර ඒ සමඟ ආපසු යවනවා. රැයකට එහෙම කීප සැරයක්ම දින කීපයක්ම කාණ්ඩ කාණ්ඩ යවලා කණ්ඩායම අඩු කරා.
ඒ කණ්ඩායම අඩු වුණත් අපි එල්.ටී.ටී.ඊ. එකට අපේ කණ්ඩායම අඩු බව නොපෙන්වන්න සුපුරුදු පරිදි වෙඩි තැබීම් සිදුකළා. කිසිවිටකත් අපි යාපනය කොටුව දාලා යන බව ඇඟෙව්වේ නෑ. සිරවී සිටි මිනිසුන් වගේම තිබූ වටිනා දේවලුත් අපි මණ්ඩතිව්වලට යැව්වා.
මේ කාලසීමාව තුළ මුහුණදුන් අභියෝග මොනවා ද?
ප්‍රධානම අභියෝගය කළපුවේ වඩදිය බාදිය ගැලීම. වතුර මට්ටම හිටපු ගමන් ඉහළට එනවා. අපේ හිටිය හැමෝම උස අය නෙවෙයි. කළපුවේ තැනින් තැන පොඩි පොඩි වළවල් තිබෙනවා. ඒවාට වැටෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා හැමෝම ඉණ වටා කඹයක් ඔතාගෙන සම්බන්ධ වෙලයි කළපුවේ ගමන් ගත්තේ.
ඊළඟ අභියෝගය තමයි එල්.ටී.ටී.ඊ. ප්‍රහාර. අපේ කීපදෙනෙක්ම ඒ ප්‍රහාරවලින් තුවාල වුණා. බර අවිවලින් වෙඩි තියලයි එය යම් ප්‍රමාණයකට පාලනය කළේ.
මීළඟට නැව්, බෝට්ටු සහ ගුවන් යානා ගෙන්වා ගැනීමට නොහැකි වීම තවත් අභියෝගයක් වුණා. හේතුව මීට පෙර ආ සියාමා සෙට්ටි ගුවන් යානයත් එල්.ටී.ටී.ඊ. ය බිමට වට්ටවා තිබුණා. එය කඹ දාලා ඇදලා ගන්න පවා ඔවුන් උත්සාහ කළා. ඒත් අපි ඉන්න දවස්වල ඒකට ඉඩ දුන්නේ නැහැ. ගුවන් යානයේ තිබූ මළ සිරුරු අපි නිදහස් කර ආපසු එවීමට කටයුතු කළා.
කොටුව ඇතුළේ ඉද්දි තිබ්බ අභියෝගය තමයි බබා මෝටාර් එවීම. එහිදී අපි අගල් කපලා, වැලි කොට්ට ගහලා බංකර් හදාගෙන තමයි ආරක්ෂා වුණේ. එකපාරටම කවුරු හරි කෑ ගහනවා බබා එනවෝකියලා. එතකොට අපි දැනගන්නවා බබා මෝටාර් එකක් එනවා කියලා. එතකොට කන බොන ඒවා පැත්තකට විසිකරලා බංකරය ඇතුළට දුවනවා. එළියේ හිටිය නම් තුවාල වීම හෝ ජීවිතක්ෂයට පත්වීම සිදුවෙනවා.
තවත් අභියෝගයක් තමයි එල්.ටී.ටී.ඊ එකේ හිටපු සැඟවුණ වෙඩික්කරුවෝ. අපි කොටුවේ සමහර තැන්වලින් යද්දි ඔවුන්ගේ වෙඩි ප්‍රහාරවලට ලක්වුණ අවස්ථා තිබුණා. කීප දෙනෙක් ඉන් ජීවිතක්ෂයටත් පත්වුණා.
අපෙත් සැඟවුණු වෙඩික්කරුවෝ සිටියා. කර්නල් දයා රාජසිංහ යටතේ සැඟවුණු වෙඩික්කරුවෝ (ස්නයිපර්) කණ්ඩායමක් පුහුණුවෙලා සිටියා. ඔවුන් එල්.ටී.ටී.ඊ එකටත් වෙඩි තියලා ලොකු හානියක් සිදුකළා.

කොහොමද මෙහෙයුම අවසන් කළේ?
පෙර කී පරිදි කොටුවේ සිරවී සිටි සියලු දෙනා සහ තිබුණ වටිනා දේ මණ්ඩතිව් වෙත යැව්වා. ඊට පස්සේ උදා වූ අවසන් දවස හරිම තීරණාත්මකයි. මේ වනවිට කොටුව ඇතුළේ හිටියේ විශේෂ බළකායේ කණ්ඩායම් හතර විතරයි. අපේ ඉංජිනියර්ස්ලා බාරව හිටියේ මේජර් ආනන්ද චන්ද්‍රසිරි. එයාට වගකීම පැවරුවා ගෙනියන්න බැරි උපකරණ පුපුරවා හරින්න. එය ටයිමින් අනුව පුපුරන්නයි සූදානම් කළේ.
අපි මණ්ඩතිව්වලට ළඟා වුණාට පසුව එය ටයිමින්වලට අනුව සිදුවන ආකාරයට සෙට් කරලා චාලි බළගණයට කොටුවෙන් පිටත්වීමයි අවසාන සැලසුම වුණේ. අන්තිම දවසේ රාත්‍රියේ අපි කොටුවේ තිබූ උමං දිගේ ගමන් කළා. කිසිවෙක් නෑ. අපේ අඩි ශබ්දය විතරයි අපිට ඇහුනේ. හරියට හොල්මන් ගෙයක් ඇතුළේ දුවනවා වගේ. අමුතු භයංකාර හැඟීමකුත් ආවා ඒ වෙලාවේ. එදා රෑ උමං ඔස්සේ ගමන් කරලයි කළපුවට අවතීර්ණ වුණේ. අවසන් අවස්ථාවේ චාලි බළගණයත් රැගෙන මේජර් උපුල් වීරසිංහ වෙඩි නූල් පත්තු කරලා කොටුවෙන් පිටත්වුණා. අපිට මණ්ඩතිව්වලට කිට්ටුවෙන්න පැය තුනක් පමණ ගියා. ඊටත් පැය 1 1/2ට විතර පස්සේ තමයි (පාන්දර එකට දෙකට පමණ) කොටුව ඇතුළේ මහා පිපිරුම් හඬක් ඇසුණේ. පැය ගාණක් එය පත්තු වුණා. ඒ වෙලාවේ අපි එල්.ටී.ටී.ඊ. එකේ රේඩියෝවලට ඇහුම්කන් දුන්නා.
එයාලා කතා වුණේ ආමි එකේ බෝම්බයක් පිපිරිලා ලොකු විනාශයක් වුණා කියලා. ඒ වෙද්දිත් අපි කොටුවෙන් එළියට ඇවිත් සිටි බව ඔවුන් දැන සිටියේ නෑ. අපි දුරදක්නවලින් දැක්කා එල්.ටී.ටී.ඊ එක ඇවිත් ඒ අවට පරීක්ෂා කරන ආකාරය. මේ ආකාරයට සියලුම සෙබළුන් ඉවත් කරගෙන කඳවුර අතහැරලා එන කටයුත්තට සති තුනක් විතර ගියා. විශේෂ බළකා සෙබළුන් 500ක් පමණ මේ කටයුත්තට සහභාගී වුණා.
මෙහෙයුමට භාවිත කළ ආයුධ මොනවා ද?
අපි බර අවි හැටියට භාවිතා කළේ ජී.පී.එම්.ජී. අවි, එල්.එම්.ජී. අවි (සුළු යාන්ත්‍රික අවි). ඊට අමතරව ස්නයිපර්ස් අවි භාවිතා කළා. මිලිමීටර් 60 මෝටාර්ස් භාවිතා කළා. ඇතුළේ මිලිමීටර් 80 මෝටාර්ස් තිබුණා. රොකට් ලෝන්චර්ස් තිබුණා. ආර්.පී.ජී. අවි භාවිතා කළා. ඒ වගේම ටී56 අවි භාවිතා කළා.
මේ වෙද්දි එල්.ටී.ටී.ඊ. එක කොතරම් ශක්තිමත් ද?
අපේ ශක්තිමත් පාබල හමුදාවක් තිබුණා. ඔවුන්ට නොහැකි වුණා එල්.ටී.ටී.ඊ එකට ගහන්න. ඒ වෙද්දි සෑහෙන බංකර් හදාගෙන, ආයුධවලින් සන්නද්ධ වෙලයි ඔවුන් හිටියේ. රේල් පීලි, යකඩ පතුරු පවා ඔවුන්ගේ බංකර් හදන්න භාවිත කරලා තිබුණා. ඇත්තටම අපේ විශාල පිරිසක් ඉඳලත් යාපනය රෝහල් ප්‍රදේශය අත්පත් කර ගැනීමට නොහැකි වුණේ එල්.ටී.ටී.ඊ එක එතරම් ශක්තිමත් නිසා.
මේ කාලයේදී තමයි සාම සාකච්ඡා බිඳ වැටිලා යුද්ධයේ දෙවැනි අදියර පටන් ගත්තේ. කලවංචිකුඩි වැනි ප්‍රදේශවල තිබ්බ පොලිස් ස්ථාන ඔක්කොම ඔවුන් අල්ලා ගත්තා. එවැනි ශක්තිමත් බවක් උතුරේ සහ නැගෙනහිර සිටි ත්‍රස්වාදීන්ට තිබුණා.
ඝන අන්ධකාරය, සීතල මුහුදු වතුර, මැසි මදුරු උවදුරු, සතා සර්පයාගේ අනතුරු සියල්ලක් මැද ත්‍රස්ත ප්‍රහාර මැඩ පවත්වමින් ජීවිතය පරදුවට තබා විශේෂ බළකා සෙබළු සිදු කළ එක් වික්‍රමාන්විතයක් එසේ අවසන් වුවේය.
ලංකාදීප පුවත්පතෙනි ..




No comments:

Post a Comment