Tuesday, May 19, 2015

ජීවිතය ලියමි

කොළඹ නගරයට චන්ද්‍රයා මුදුන් වී ඇත. පාට පාට ආලෝකයත් වාහන වල ශබ්දයත් තවමත් නගරය අවදියෙන් බව පවසයි. මම දෑස් පියා ගතිමි. ජීවිතය නතර වී ඇත්තේ කොතනකදැයි සෙවුයෙමි. 

     අම්මා ප‍ාට පාට මල් වැටුණු ඔසරියකින් සැරසී ඇත. අත්තම්මා‍ගේ අතේ මල් වට්ටියකි . අම්මා සමග පෙර පාසල් යනවාට වඩා අත්තම්මා සමග පන්සල් යාමට තිබුණා නම් මැනවැයි මට සිතුණි. මම බොරු බඩේ අමාරැවක් ගත්තෙමි. 

"බොරු ලෙඩ ගන්න ඕන නෑ. ඔයාට අත්තම්මා එක්ක පන්සල් යන්න ඕනම නම් යන්න"

මගේ සිතැගියාවන් හදුනන අම්මා මට පන්සල් යාමට අවසර දුන්නාය. මම තටු ලැබුණ කිරිල්ලියක් සේ අත්තම්මා ළගට දිව්වෙමි. 

අත්තම්මා සිනාසී මා දෙස බලා සුදුපාට මල්වැටුණු ගවුමකින් සැරසූවාය. පසුව පුංචි කොණ්ඩා කරල් දෙකක් ගොතා පාට පාට මලින් සැරසූ වට්ටිය මා දෑත මත තැබුවාය. මම අත්තම්මා පසුපස වැටුනෙමි.

ගුරැ පාර දෙපස එරමිනියා කරඹ ඉදී ඇත. අත්තම්මාට ඉදිරියට යාමට හැර මම පසුවෙමි. ඇයට හොරෙන් කරඹ ගෙඩියක රස බලමි. ටික දුරක් යන අත්තම්මා මගේ පියවර නොඇසෙන කළ ආපසු බලයි.

"පය ඉක්මන් කරලා වරෙන් කෙල්ලේ බුද්ධ පූජාව තියන්න වෙලාව පරක්කු වෙනවා......"

මම ඉක්මන් ගමනින් ඇය පසු කරමි. මගේ ඊළග ආශාව වැවෙන් ඕලු මල් කඩා ගැනීමය. මම ගල්වාන ඉක්මනින් තරණය කරමි‍.

"කෙල්ලේ බලාගෙන අඩිය තියපන්. ගලේ දියසෙවල බැදිලා ලෙස්සනවා......"

"අත්තම්මේ මට පුජා කරන්න ඕලු මලක් කඩලා දෙන්නකෝ. "

ව‍ාන පසුකරනවාත් සමගම මම මගේ සුපුරුදු ආයාචනය කරමි.

"මම මේ දානේ පෙට්ටියත් අරගෙන කොහෙමද මල් කඩන්නේ. ඔය තියෙන මල් මදෑ ....."

අත්තම්මා පවසයි. ඒත් මම පරාජය බාර ගැනීමට සූදානම් නොවෙමි.

"අනේ අත්තම්මේ ........"

"උපාසක අම්මේ මොනවදෑ ඔය සුදු මැණිකේ ඉල්ලන්නේ......"

ඒ පොල් කඩන්නට එන කරැනාදාසගේ හඬය.

"කෙල්ලට පුජා කරන්න ඕලු මල් කඩලා දෙන්නලු. මම කොහොමද මේ දානේ පෙට්ටියකුත් අරගෙන මල් කඩන්නේ."

"උපාසකම්මා ඉන්ඩ මම සුදු මැණිකෙට මල් ටිකක් කඩලා දෙන්නම්"

බුලත්විට කා දුඹුරැ ගැහුණු දත් විලිස්සමින් සිනාසෙන ඔහු සීතල වතුරට බැස මල් මිටියක්ම කඩාදෙයි.

මම සිනාසී එය දෝතට ගමි. අත්තම්මා ඔහුට කෘතඥ පුර්වක බැල්මකින් සංග්‍රහ කරයි. අපි යළිත් ගමන ආරම්භ කළෙමු.

පන්සල් භූමිය පින්පාටය. වෙහෙර වහන්සේ කිරි පාටට බබළයි. මම අත්තම්මා අනුගමනය කරමින් පාවහන් ගලවා පන්සල් භූමියට ඇතුළු වුනෙමි.

"ආ චුටි මැණිකේ පන්සල් ඇවිත් වගේ"

ඒ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ හඩය . අත්තම්මා දානේ පෙට්ටිය දාන ශාලාවෙන් තබා පොඩි හාමුදුරුවන්ට එකත්පස්ව වදියි. මමත් ඇය අනුගමනය කරමි.

"උපාසකම්මා බුද්ධ පූජාව සකස්කරලා කතාකරන්න"

පොඩි හාමුදුරැවෝ අත්තම්මාට පවසයි. අත්තම්මා ‍‍ගෞරවාන්විතව එය සිදුකරයි. මම දාන ශාලාවේ සිටින පූස් පැටවුන් වටේ කැරකෙමින් ඔවුන්ව ඇල්ලිමට උත්සහ කරමි. ඒත් උන් මට නොපෙනෙනා ඉසව්වල සැගවෙයි. මම උන්ව සොයමි. උන්ව යාළුකර ගැනිමට විවිධ දේ කරමි.

"කෙල්ලේ ඔය පුසොත් එක්ක සෙල්ලන් කරන්න ගිහින් තුවාල කරගන්න එපා. දැන් හාමුදුරුවෝ එයි.
අපි එතකන් ගිහින්බෝ මළුව ඇමිදිමු. "

මම යළිත් අත්තම්මා පසුපස වැටෙමි. අත්තම්මා බුද්ධපුජාව ආසනය මත තබා බෝ මළුව ඇමිදියි. මම බෝ මළුවේ දුව පණිමින් සෙල්ලම් කරමි. වට පිට බලමි. සුදු පාට ලස්සන පූස් පැටියා මා අසලය. මම උෟ යාළුකරගැනීමට ක්‍රමයක් කල්පනා කළෙමි.
මට යමක් මතක් වූයෙමි.

මම හෙමිහිට බුද්ධ පුජාව තැබුව තැනට ගියෙමි. අත්තම්මා තවමත් බෝ මළුව ඇමිදියි. මම හෙමිහිට බුද්ධ පූඡාවේ තිබුණ ලැවරියා ගෙඩිය අතට ගත්තෙමි. එය කුඩා කැබලි වලට කඩමින් පූසා අසලින් තැබුවෙමි. ඌ හෙමිහිට හෙමිහිට ලැවරියා රස බැලුවේය. මම ආශාවෙන් ඒ දෙස බලා සිටියෙමි.

"කෙල්ලේ කෝ බුද්ධ පුජාවේ තිබ්බ ලැවරියා ගෙඩිය"

අත්තම්මා දහඩිය පිසිමින් මගෙන් ඇසුවාය. මම කිසිවක් නොකිව්වෙමි. ගෙදර ගියපසු බුද්ධ පූජාවේ ලාවරිය කෑ වරදට මට පුංචි කෝටු පාරක්ද කන්නට සිදුවිය. ඇය අදටත් සිතා සිටින්නේ මම ලැවරිය ගෙඩිය කෑ බවය. ඒත් එහි සත්‍ය දන්නේ අදටද මා පමණකි.

මේ මගේ ජීවිතයේ සත්‍ය අත්දැකීම්ය. ඒ  සොදුරු ළමා වියට මා බෙහෙවින්ම ලෙන්ගතු වෙමි. ජීවිතය කාර්‍යය බහුල වන සෑම විටකම විඩා නිවාගන්නේ ඒ මතකයක් ආවර්ජනය කිරීමෙනි. මතකයට නැගෙනා එවන් සිතිවිළි ඉදිරියටත් මෙසේ පෙළගස්වමි.

කුමාරී හේරත්


















මැටි ගෙදර අපේ කිරි අමීමා

බිම වැටුණු කිරි දතට
හඩන මගෙ ළපටි හිත
අඹ ගහේ ලේනෙකුට දුන්නා
අහිමි වී ගිය දි‍නෙක
සිනාසුණ හැකි සිතක්
අතීතයෙ මට ගෙනැත් දුන්නා
මැටි ගෙදර අපේ කිරි අමීමා

රහත් නමකට නොදෙන
කැවුම් මල්ලක් තිබෙන
සිටුවරුන් සිටු ගෙදර උන්නා
මා නමින් ගේ ඉදෙන
කැවුම් අහුරෙන් එකක්
න කෝඳුරුවන්ට දුන්නා
මැටි ගෙදර අපේ කිරි අම්මා 

මැටි ගෙදර තිබුණ තැන
ගමක කුසගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ උන්නා
වෙබ් අඩවියේ තැනෙක 
හමුවුනොත් දන්වන්න 
මැටි ගෙදර අපේ කිරි අම්මා


දරුවෙක්ට කුඩා කාලයේ සිටම යහපත් සමාජානුයෝජනයක් සිදුවීමට නම් යහපත් ගුණධර්ම ප්‍රගුණ පුහුණු කළ යුතුය. මැටි ගෙදර අපේ කිරි අම්මා එහි ප්‍රතිබිම්භය ලෙස මම දකිමි. මෙම ගීතය පිළිබද  ඔබේ අදහස් දක්වන්න.

කුමාරි හේරත්




Monday, May 18, 2015


















සුමුදු සයනෙය සැතපිලා - පද රචනය කුමාරි හේරත්


රහක් ඇති යමක් හෙට අනිද්දාම. එතෙක්‍‍‍

ගගන නම් පෙම්බරා
සෙනෙහසේ පනිවිඩය
සඳකැළුම් අත එවා
සයුර පෙම්බරිය වෙත 

නුරා රැඟුමන් රඟා
ඇගේ මුව සිඹින විට
හෙළන සීතල සුසුම්
දැවටුණා අප අසල..

සිත් ඉමේ මෝදු වන
නොසන්සුන්ආදරය
හැඟුම්කර තැවරුවා
ඇගේ වත කමල මත

කුමාරි හේරත්.